වතිකානයෙන් කළු දුමාරයක්

නව පාප් වහන්සේවරයෙකු තෝරාපත් කර ගැනීමේ පළමු නිල ඡන්ද විමසුම ප්‍රතිඵලයකින් තොරව අවසන් වි තිබෙනවා. ඊයේ පැවති නව පාප්වහන්සේවරයෙකු තෝරාපත් කර ගැනීමේ නිලවරණයට කාදිනල්වරු 133 දෙනෙකු පෙනී සිටියා.

ඒ අනුව, අද අලුයම සිස්ටයින් දේවස්ථානයේ දුම් කවුළුවෙන් කළු දුමාරයක් පිටවු බවයි මාධ්‍ය වාර්තා කළේ. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු නව පාප්වහන්සේවරයෙක් තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පළමුවරට ආරම්භ වුයේ මෙරට වේලාවෙන් ඊයේ පස්වරුවේ. පාප් නිලවරණයට සුදුසුකම් ලබා සිටින කාදිනල්වරුන් 133 දෙනෙකු රතු සහ සුදු පැහැති සාම්ප්‍රාදායික ලෝගුවෙන් සැරසි ශාන්ත පීතර බැසිලිකාවේ පැවති දිව්‍ය පූජාවකට එක්වුණා. අනතුරුව ඡන්ද විමසුම ආරම්භ වුණා. කාදිනල්වරයෙකු තුනෙන් දෙකක ඡන්දයක් ලබාගන්නා තෙක් ඡන්ද විමසීම සිස්ටයින් දේවස්ථානයේදි සෑම දිනකම පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නව පාප්වහන්සේවරයෙකු තෝරාපත් කර ගන්නා තෙක් එම දේවස්ථානය බාහිර ලෝකයට විවෘත නොවේ.  ඡන්දය ප්‍රකාශ කරන සෑම අවස්ථාවකින්ම පසු ඡන්ද පත්‍රිකා පුළුස්සා දැමීම සිදුකෙරෙනවා. දේවස්ථානයේ චිමිනියෙන් කළුදුමාරය පිටවීමෙන් හැඟවෙන්නේ ඡන්දය තීරණයකින් තොරවු බවයි. සුදු දුමාරය පිටවන්නේ නම් නව පාප්වහන්සේවරයෙකු තෝරාගත් බව සංකේතවත් කෙරෙනවා.මෙම ඡන්ද විමසීම ලෝකයේ වඩාත් රහසිගත ඡන්ද විමසීම ලෙසයි සැළකෙන්නේ.