වතුකරයේ පාසල් හෙට සිට යළි විවෘත වෙයි

“දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් තාවකාලිකව වසාදමා තිබූ වතුකරයේ පාසල්, හෙට යළි විවෘත කෙරෙනවා.

සුළි කුණාටුව හේතුවෙන්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් 85 ක පමණ ගොඩනැගිලි විනාශ වී තිබුණා.

තවත් පාසල් කිහිපයක අවතැන් කඳවුරු පවත්වාගෙන යනු ලැබුවා.

ඒ අනුව නාය යාමේ අවදානමට ලක්ව තිබූ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන

“සෙන් – මේරීස්” විද්‍යාලය, කිසිදු ගැටලුවකින් තොරව හෙට යළි විවෘත කෙරෙනවා.

කොත්මලේ වැවන්ටන් දමිළ මහා විද්‍යාලය ද හෙට යළි විවෘත කෙරෙන පාසල් අතරට අයත්.

එම පාසලට පිවිසෙන මාර්ගය ද සම්පූර්ණයෙන්ම නාය ගොස් තිබූ අතර මේ වනවිට කිසිදු ගැටලුවකින් තොරව පාසල යළි විවෘත කිරීමට හැකි බවයි කලාප අධ්‍යාපන කාර්යාලය නිවේදනය කරන්නේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව, තලවකැලේ පොලිස් වසමට අයත් “ග්‍රේට් වෙස්ටන්” දමිළ පාසලේ අවතැන් කඳවුරෙ රැඳී සිටි වතු කම්කරුවන්, යළි ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර තිබෙනවා.

පවුල් 67 කට අයත් සාමාජිකයින් 270 දෙනෙකු මෙම විද්‍යාලයේ තාවකාලිකව පදිංචිව සිටියා.