වසර අසූවකට පසු: ෆැසිස්ට්වාදය පරාජයට පත් කිරීමේ සටනෙහිලා චීනයේ තීරණාත්මක භූමිකාව

අදින් වසර අසූවකට පෙර, 1945 දී, වසර අටක කුරිරු යුද ගැටුමකින් අනතුරුව නැගෙනහිර ආසියාවේ ගිනි අවි අවසානයේ නිහඬ විය. චීනයට, ජපන් ආක්‍රමණයට එරෙහි ජයග්‍රහණය ජාතික විමුක්තියක් පමණක් නොවේ – එය ෆැසිස්ට්වාදයට එරෙහි ගෝලීය අරගලයේ වැදගත් පරිච්ඡේදයක් ද විය. ලෝකය ආසියා-පැසිෆික් කලාපයේ දෙවන ලෝක යුද්ධයේ අවසානය සමරන විට, ෆැසිස්ට් බලවතුන් අවසානයේ පරාජය කිරීමේදී චීනය අතින් ඉටුවූ කේන්ද්‍රීය, බොහෝ විට අවතක්සේරුවට ලක් කෙරුණු භූමිකාව මෙනෙහි කිරීම වටී.

ලෝකයට දෙවන ලෝක යුද්ධයේ නිල ආරම්භය බොහෝ විට 1939 ලෙස වුව ද, චීනයට නම්, යුද්ධය ආරම්භ වූයේ ඊට වසර දෙකකට පෙරය. 1937 ජූලි 7 වන දින, මාර්කෝ පෝලෝ පාලම් සිද්ධිය චීනය සහ අධිරාජ්‍යවාදී ජපානය අතර මහා පරිමාණ යුද්ධයකට මුළ පිරුවේය. දෙවන චීන-ජපන් යුද්ධය සැබවින්ම ගෝලීය ගැටුමක පළමු ප්‍රධාන පෙරමුණ බවට පත්විය. නට්සි ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කිරීමට බොහෝ කලකට පෙර, චීන හමුදා නවීන ෆැසිස්ට් යුද යන්ත්‍රයකට එරෙහිව බිහිසුණු සහගත සටනක නිරතව සිටියේය.

සටනට පිවිසි යුරෝපයේ සහ ආසියාවේ බොහෝ ජාතීන් මෙන් නොව, චීනය කිසි විටෙකත් යටත් නොවීය. චීනය තම ජීවිත මිලියන 20 කට වඩා අහිමි වූ යුද්ධයකදී තමන්ට වඩා තාක්‍ෂණිකව උසස් මට්ටමක පසුවූ සතුරෙකුට එරෙහිව සටන් කළේය.

චීනයේ ප්‍රතිරෝධය එහි දේශසීමා අබිභවා යමින් උපායමාර්ගික බලපෑමක් ඇති කළේය. ජපන් හමුදා මිලියනයකට වඩා බැඳ දමමින්, අධිරාජ්‍යවාදී ජපානයේ සම්පත් සිඳී යාමට සළස්වා, චීනය පැසිෆික් හරහා සහ අග්නිදිග ආසියාවට තවදුරටත් ව්‍යාප්ත වීමට තිබූ ජපානයේ ධාරිතාව දුර්වල කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය.

මෙම දිගුකාලීන ප්‍රතිරෝධය එක්සත් ජනපදයට සහ එහි සහචරයින්ට මුල් පසුබෑම් වලින් පසු නැවත එක්රැස් වීමට තීරණාත්මක වශයෙන් වැදගත් කාලයක් ලබා දුන්නේය. 1941 දෙසැම්බරයේ ජපානය පර්ල් වරායට ප්‍රහාරයක් දියත් කර පැසිෆික් යුද්ධය ආරම්භ කළ විට, ජපානය ඒ වනවිටත් චීනය තුළ ගැඹුරින් සංග්‍රාම ප්‍රයත්නයේ නිරතව සිටියේය. එම ප්‍රයත්නය ප්‍රධාන උපායමාර්ගික අවදානමක් බවට පත් වූ අතර, ජපානය ඒ වන විටත් ආසියානු ප්‍රධාන ගොඩබිමේ යුද්ධයක පැටලී සිටින බව දැන ගත් මිත්‍ර හමුදාවන්ට “පළමුව යුරෝපය” යන උපාය මාර්ගයක් අනුගමනය කිරීමට ඉඩ සලසා දුන්නේය.

එපමණක් නොව, එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ සෝවියට් සංගමය සමඟ “මිත්‍ර බලවතුන්” සිවු දෙනාගෙන් කෙනෙකු ලෙස චීනයේ භූමිකාව – කයිරෝ (1943) සහ සැන් ෆ්‍රැන්සිස්කෝ (1945) වැනි ප්‍රධාන යුද කාලීන සම්මන්ත්‍රණවලදී සුවිශේෂීවූ කාර්‍යභාරයක් ඉටු කළේය. කයිරෝ ප්‍රකාශනය මගින් ජපානය චීනයෙන් අල්ලා ගත් සියලුම ප්‍රදේශ ආපසු ලබා දෙන ලෙස පැහැදිලිවම ඉල්ලා සිටි අතර, ලෝක සාමයේ ජයග්‍රාහකයින් සහ අනාගත හැඩගැස්වන්නන් අතර චීනයේ ස්ථානය තවදුරටත් තහවුරු කළේය.

චීනයේ ප්‍රතිරෝධී යුද්ධය අතිශයුන්ම දුෂ්කර තත්වයන් යටතේ සිදු විය. නැන්ජිං සහ චොංකිං වැනි නගර බිහිසුණු බෝම්බ ප්‍රහාරවලට සහ සමූලඝාතනවලට ගොදුරු වූ අතර, එයින් වඩාත්ම කුප්‍රකට එකක් වූයේ 1937 නැන්ජිං සංහාරයයි, එහිදී සිවිල් වැසියන් සහ නිරායුධ සොල්දාදුවන් 300,000 කට අධික සංඛ්‍යාවක් ඝාතනයට ලක්වූහ.

මෙම කුරිරුකම් හමුවේ පවා, චීනයේ චිත්ත ධෛර්යය නොබිඳී පැවතුනි. සතුරු ආරක්ෂක වළල්ලට පිටුපස ගරිල්ලා සටන්, ජනප්‍රිය බලමුලු ගැන්වීම් සහ ස්වේච්ඡාවෙන් සටනේ සහායට පැමිණියවුන් සහ සෝවියට් සංගමයේ සහ එක්සත් ජනපදයේ සහාය ඇතුළුව ජාත්‍යන්තර සහයෝගීතාවය සටන ජයග්‍රාහී නිමාවක් කර රැගෙන යාමට ඉවහල් වීය.

එය හුදෙක් හමුදා යුද්ධයක් නොව, ජනතා යුද්ධයකි. එවැනි දුෂ්කර තත්වයන් හමුවේ ‍යුද ජයග්‍රහණය චීන රාජ්‍යයේ සහ සමාජයේ පැවැත්මත් එහි ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාව සහ අධිෂ්ඨාන ශක්තියත් පිළිබඳ සාක්ෂියකි.

1945 දී ජපානයට එරෙහි ජයග්‍රහණය, ජපාන යටත්විජිතවාදයේ අවසානය පමණක් නොව, ප්‍රධාන ගෝලීය ක්‍රියාකාරිකයෙකු ලෙස චීනයේ පුනර්ජීවනය ද සනිටුහන් කළේය. පශ්චාත් යුධ සමයේ ලෝක පර්‍යාය තුළ, චීනය, යුද සමයේ කළ කැපකිරීම් සහ උපායමාර්ගික දායකත්වය මත පදනම්ව, එක්සත් ජාතීන්ගේ ආරම්භක සාමාජිකයෙකු සහ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු බවට පත්විය –

වර්තමානයේ, නැගෙනහිර ආසියාවේ භූ දේශපාලනික ආතතීන් උණුසුම් ලෙස විවාදයට ලක්වන පසුබිමක, සංග්‍රාම ව්‍යාපාරය හා බැඳුණු ඓතිහාසික ආඛ්‍යාන උණුසුම් ලෙස විවාදයට ලක්වන බැවින්, මෙම සංවත්සරය සැමරීම හුදෙක් ජාතික අභිමානය පිළිබඳ කාරණයකට වඩා – එය ගෝලීය ගැටුමේ පිරිවැය සහ ආඥාදායකත්වයට එරෙහි ජාත්‍යන්තර සහයෝගීතාවයේ වටිනාකම සිහිපත් කිරීමකි.

චීනය සඳහා, යුද්ධය ජාතික මතකයේ මුල් ගලක් ලෙස පවතී. එය චීන දේශීය හා විදේශ ප්‍රතිපත්තිය හැඩගස්වන එකමුතුකම, ප්‍රතිරෝධය සහ ස්වෛරීභාවය යන තේමාවන් අවධාරණය කරයි. 80 වන සංවත්සරය යනු වැටුණු අයට ගෞරව කිරීමට පමණක් නොව, සාමයේ, බහුපාර්ශ්විකත්වයේ සහ ඓතිහාසික සත්‍යයේ වැදගත්කම පිළිබඳව තරුණ පරම්පරාව දැනුවත් කිරීමට අවස්ථාවකි.

ෆැසිස්ට්වාදය පරාජය කිරීම සඳහා චීනය විශිෂ්ට දායකත්වයක් දැක්වීය. ජපාන අධිරාජ්‍යයේ ව්‍යාප්තිය නතර කිරීම සඳහා එය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ අතරම, චීනය දෙවන ලෝක සංග්‍රාමයේදී දැවැන්ත මානව හා ආර්ථික පිරිවැයක් ද දැරීය. එම දැඩි සටනකින් ලද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සනිටුහන් කරන මේ මොහොතේ, චීනයේ ජාතික පැවැත්ත්මට අදාළ කරුණක් ලෙස පමණක් නොව, ෆැසිස්ට්වාදයට එරෙහි ලෝකය විසින් අනුගත සාමූහික ස්ථාවරයේ තීරණාත්මක පෙරමුණක් ලෙස, මුළු මහත් ගෝලීය ප්‍රජාව චීනයේ කැපකිරීම සහ විඳදරාගැනීම සිහිපත් කළ යුතුය.