වැවක තිබී සැක කටයුතු මළසිරුරක් හමුවෙයි

සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයකුගේ මළ  සිරුරක් හොරණ වවුලගල ප්‍රදේශයේ කුඩා වැවක තිබී ඊයේ සවස සොයාගත් බව හොරණ පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ හොරණ මුණගම වවුලගල ලිපිනයේ  පදිංචි කරුණාරත්න මුදලිගේ විමලරත්න නැමැති පනස් එක් හැවිරිදි වියේ පසු වන අයෙකු බව පොලිසිය පවසයි.

ඊයේ සවස තුනට පමණ එම කුඩා වැව අසල පදිංචිකාරිනියක්  එම වැවේ සිටින මාළුන්ට කෑම ලබාදීමට යාමේදී වැවේ පාවෙමින් තිබු මෙම මළ සිරුර දැක ඇති අතර පසුව එම කාන්තාව විසින් පොලිස්  හදිසි ඇමතුම් ඔස්සේ පොලිසියට දැනුම් දී ඇති අතර  ඒ අනුව පොලිසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණය කිරීමෙන් පසු පානදුර අපරාධ ස්ථාන භාර පරීක්ෂණාගාර නිලධාරීන් කැඳවා ස්ථානීය පරීක්ෂණ සිදු කළ අතර පසුව සිරුර රාත්‍රීයේ ගොඩ ගැනීනි.

දිය මත තිබීමෙන් සිරුරට  දැඩි ලෙස  හානි සිදුව තිබූ අතර පසුව එම ප්‍රදේශයේම  පදිංචි ඔහුගේ පුතෙකු සහ ඥාතීන් පිරිසක් විසින් මල සිරුර හඳුනා ගැනීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා හොරණ දිස්ත්‍රික් රෝහල වෙත රැගෙන යන ලදී.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන හොරණ පොලිසිය සිදුකරයි.