වියට්නාමයේ බිහිසුණු බෝට්ටු අනතුරක්

වියට්නාමයේ සංචාරකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් කිහිපදෙනෙකු අතුරුදන්ව සිටින බවයි වාර්තා වන්නේ.

වියට්නාමයේ උතුරු ප්‍රදේශයේ සුප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වන “හා ලොං” බොක්ක ආශ්‍රිතව මෙම බෝට්ටු අනතුර සිදුව ඇති බව එරට බලධාරින් පවසනවා.

අයහපත් කාලගුණය ඊට හේතුව බවයි ඔවුන් කියා සිටියේ. අනතුරට පත් සංචාරකයින්ගෙන් වැඩි පිරිසක් එරට හැනෝයි අගනුවර සිට පැමිණි පුද්ගලයින් බව වාර්තා වනවා.

එරට මුදාගැනීමේ කණ්ඩායම් පවසන්නේ පුද්ගලයින් 11 දෙනෙකු බේරාගැනීමට සමත් වූ බවයි.

අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම්වලට අධික වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වී ඇති බවද ඔවුන් සඳහන් කළා.

“වොන්ඩර් සීස්” නැමති මෙම සංචාරක බෝට්ටුව අනපේක්ෂිත කුණාටුවකට හසුව පෙරළී ගොස් ඇති බව වියට්නාම නාවික හමුදාව පවසනවා.

අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි එම හමුදාව කියා සිටියේ.

අනතුරට ලක්වන අවස්ථාවේ බෝට්ටුවෙහි සංචාරකයින් 53 දෙනෙකු සිට ඇති බව සඳහන්.

මේ වනවිට සොයාගෙන ඇති මළසිරුරු අතර දරුවන් 8 දෙනෙකුගේ සිරුරුද වන බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් ක‍රන්නේ.

වියට්නාම රජය විපතට පත්වූවන් වෙනුවෙන් සිය ශෝකය පළ කර සිටිනවා.