සතිශ් ගමගේ තවදුරටත් රිමාන්ඩ්

අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් දෙපාර්තමේන්තුවේ සංස්කෘතික අංශයේ හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරී සතිශ් ගමගේ මහතා තවදුරටත් සැප්තැම්බර් මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

එදිනට පෙර විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය නියම කළා.

මෙම පැමිණිල්ල කැපවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  මත්ද්‍රව්‍ය හා ගිනි අවි සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් දුලාජ් තරංග නමැති පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුගේ ජංගම දුරකතනයේ තිබී මෙම සැකකරුගේ වට්ස්ඇප් ඇමතුම් කිහිපයක් හමුවී තිබෙන බව සඳහන් කළා.

ඒ ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කිරීමේදී අනුර නානායක්කාර නමැති පුද්ගලයෙකුගේ නමින් තිබූ බැංකු ගිණුම් තුනක් පිළිබඳ තොරතුරු ද අනාවරණය වී ඇති අතර එම ගිණුම් වලට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගෙන් මුදල් තැන්පත් කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි ඔවුන් සඳහන් කළා.

පසුව මෙම විමර්ශනයේදී අල්ලස් පිළිබඳ වැරදි අනාවරණය වීම නිසා මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අල්ලස් කොමිසම වෙත යොමු කළ බවත් ඔවුන් සඳහන් කළා.

ඉන් අනතුරුව අල්ලස් කොමිසම විසින් සිදු කළ විමර්ශනවලදී අදාළ බැංකු ගිණුම් තුන මෙම සැකකරුගේ අවශ්‍යතාවය මත අනුර නානායක්කාර නමැති පුද්ගලයා විසින් ආරම්භ කර ඇති අතර එම ගිණුම් තුන මෙම සැකකරු විසින් භාවිතා කර තිබෙන බවට කරුණු අනාවරණය වූ බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළා.

මෙම ගිණුම් අතර තිබූ සෙලාන් බැංකුවේ ගිණුමට මාස අටක කාලය තුළ රුපියල් 5931000/- ක් මුදලක් තැන්පත් වී ඇති අතර එහි 1482810/- මුදල් ඉතිරිව තිබූ අතර සම්පත් බැංකුවේ ගිණුමට රුපියල් ලක්ෂ 74 කට ආසන්න මුදලක් තැන්පත් වී ඇති බවත් ඉන් ලක්ෂ 31 ක් මුදලක් ඉතිරිව තිබෙන බව සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙම මුදල් අල්ලස් වශයෙන් ලබාගත් මුදල් බවට විමර්ශන වලදී අනාවරණය වී ඇති බවත් සඳහන් කළා.

හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 189 ක්, 59 ක් සහ අයිස් කිලෝග්‍රෑම් 189 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත මේ අධිකරණයේ නඩු පවරා තිබෙන සුරාජ් සංජීව පතිරණ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් මෙම ගිණුම් වලට මුදල් තැන්පත් කර ඇති බවට විමර්ශන වලදී කරුණු අනාවරණය වී ඇති බවත් එම නිලධාරීන් කියා සිටියා.

ඊට අමතරව සම්බාහන ආයතන පවත්වාගෙන ගිය කාන්තාවකවගෙන් සහ ඉඩම් ගැටළුවකට සම්බන්ධ පුද්ගලයෙකුගෙන් ද අල්ලස් වශයෙන් මෙම සැකකරු මුදල් ලබාගෙන තිබෙන බව විමර්ශන වලින් කරුණු අනාවරණය වී ඇති බවත් ඔවුන් සඳහන් කළා.

ඊට අමතරව මෙම සැකකරුගේ රියදුරු වශයෙන් කටයුතු කළ පොලිස් කොස්තාපල් වරයා විසින් අවස්ථා 150 කට ආසන්න අවස්ථාවක මුදල් තැන්පත් කර ඇති බවත් ඔහුගේ රියදුරු විසින් ද ඒ ආකාරයෙන්ම මුදල් තැන්පත් කර තිබෙන බව විමර්ශන වලදී අනාවරණය වී ඇති අතර එම මුදල් තැන්පත් කිරීම් සහ මුදල් ආපසු ගැනීම් මෙන්ම භාණ්ඩ මිලදී ගැනීම් මෙම සැකකරු ගේ අනුදැනුම මත සිදු කළ බව ඔවුන් විසින් ප්‍රකාශ කර ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් පැවසුවා.

ඊට අමතරව මෙම අපරාධයට අදාළව පවත්වාගෙන ගිය හැටන් නැෂනල් බැංකුවේ ගිණුමට මාස අටක කාලය තුළ රුපියල් ලක්ෂ 140 ක් මුදලක් තැන්පත් වී ඇති බවත් එම ගිණුම සම්බන්ධයෙන් මෙතෙක් විමර්ශන ආරම්භ කර නොමැති බවත් ඔවුන් සඳහන් කළා.

මෙම සියලු ගිණුම් වලට රුපියල් පන් දහස, දස දහසේ සිට රුපියල් ලක්ෂය ලක්ෂ දෙක යනාදී වශයෙන් මුදල් තැන්පත් වී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙන බවත් ඔවුන් කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ ජෙනරාල් තුසිතා ජයනෙත්මි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ දින රාත්‍රී මෙම නඩුකරයේ ප්‍රධානතම සාක්ෂිකරු වන අනුර නානායක්කාර නැමැත්තා අක්මීමන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් කළා.

එම පුද්ගලයා පාතාලයට සම්බන්ධ බවට 119 දුරකථන අංකයට ලැබුණු ඇමතුමකට අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදු වී ඇති බවත් ඉන් අනතුරුව ඔහු පොලිස් ඇප මත මුදා හැර තිබේන බවත් ඇය සඳහන් කළා.

මෙම අනුර නානායක්කාර නමැති පුද්ගලයා විශ්‍රාමික රජයේ සේවකයෙකු වන අතර ඔහුගේ බිරිඳ ගුරුවරියක් බවත් දරුවන් දෙදෙනා ද රජයේ සේවයට සම්බන්ධ වී සිටිනවා.

අල්ලස් කොමිසම විසින් මෙම අනුර නානායක්කාර නැමැත්තාගේ ක්‍රියා කාරකම් පිළිබඳව කලක් තිස්සේ විමර්ශන සිදු කළ අතර ඔහු පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ බවට එහිදී කරුණු අනාවරණය නොවූ බවත් ඇය කියා සිටියා.

මෙය සෘජුවම සාක්ෂිකරුට සිදු කළ බලපෑමක් බවට අල්ලස් කොමිසමට පෙනී යන්නේ යැයි සදහන් කළ අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ ජෙනරාල් වරිය මේ පිළිබඳව දූෂණ විරෝධී පනත යටතේ තම කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් කියා සිටියා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලීසියෙන් කරුණු විමසීමක් කර තිබුනත් මේ දක්වා එම පොලීසිය විසින් අල්ලස් කොමිසම වෙත කරුණු පැහැදිලි කිරීමක් කර නොමැති බවත් ඇය පැවසුවා.

මේ සිද්ධියෙන් පසු අනුර නානායක්කාර නමැති පුද්ගලයා දැඩි භීතියකට පත්ව සිටින බවත් ඇය කියා සිටියා.

මේ තුළින් මෙම විමර්ශනයේ සාක්ෂිකරුවන්ට එල්ල වී තිබෙන බලපෑම කෙසේ දැයි මනාව පැහැදිලි වන්නේ යැයි සදහන් කළ ඇය  විමර්ශන අවසන් වනතුරු මෙම සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රදීප් ජයකොඩි මහතා 2024 වසරේ ආරම්භ කළ මෙම විමර්ශනය තවමත් අවසන් නොමැති බව අල්ලස් කොමිසම විසින් සිදු කරන ප්‍රකාශය පිළිගත නොහැකි බව කියා සිටියා.

මෙම සැකකරුගෙන් බලපෑම් සිදු වූ බවට අනුර නානායක්කාර නමැති පුද්ගලයා විසින් දිවුරුම් ප්‍රකාශයක් ලබා දුන් බව අල්ලස් කොමිසමේ නිලධාරීන් ප්‍රකාශ කරන අතර එම දිවුරුම් ප්‍රකාශයට කොළඹ දී අත්සන් කර තිබුණත් එය සහතික කළ සාම විනිසුරු වරයා ගාල්ල ප්‍රදේශයේ අයෙකු බව නීතීඥවරයා කියා සිටියා.

එවිට මහේස්ත්‍රාත්වරිය සදහන් කළේ මෙම සාම විනිසුරු වරයා මුලු දිවයිනටම බලපාන අයුරින් කටයුතු කරන පුද්ගලයෙක් බව පෙන්වා දුන්නා.

දූෂණය තුරන් කිරීම සදහා පෙනී සිටින අල්ලස් කොමිසමේ නිලධාරීන් දූෂිත ආකාරයට මෙම විමර්ශනය සිදු කිරීම තරයේ හෙළා දකින බවත් තමන්ට බලපෑම් සිදු වී ඇති බවට එම සාක්ෂිකරු විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා.

අක්මීමන පොලීසිය විසින් එම සාක්ෂිකරු අත් අඩංගුවට ගෙන ඇති බව අල්ලස් කොමිසම ප්‍රකාශ කළත් ඊට සිය සේවාදායකයාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව සඳහන් කළ නීතිඥවරයා ඒ පිළිබඳව අල්ලස් කොමිසම අක්මීමන පොලීසියේ ස්ථානාධිපතිවරයා ගෙන් ප්‍රකාශයක් ලබා ගෙන තිබේදැයි ප්‍රශ්න කළා.

ඒ අනුව අදාළ සැකකරු ඇප මත මුදාහරිණ ලෙස ඔහු ඉල්ලා සිටියා.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.