සිංහයන්ගේ කැන්ගරු සටන අති සාර්ථකයි

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රි ලංකාව ඊයේ සමත්වුණා.

ඒ ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගය කඩුලු 8 කින් ජයගනිමින්.

ක්‍රිකට් වාර්තා රැසක් අලුත් වූ තරගය පැවැත්වුණේ පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී.

තරගය නැරඹීම සදහා පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයට විශාල පිරිසක් පැමිණ සිටියා.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රි ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට ලබාදුන්නා. ඒ අනුව ඔස්ට්‍රේලියා ඉනිම ආරම්භ කළේ නායක මිෂෙල් මාර්ස් සහ ට්‍රැවිස් හෙඩ්.

ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලට ගොඩනැගූ සබදතාව ලකුණු 104ක්.

ට්‍රැවිස් හෙඩ් ලකුණු 56 යි. ‍මිචෙල් මාර්ෂ් ලකුණු 54 ක් රැසක්ළා. ඔස්ට්‍රේලියාව පළමු පන්දුවාර 10 ඇතුළත ලබාගත් ලකුණු සංඛ්‍යාව 110 ක්.

අනතුරුව දෙවැනි පන්දුවාර 10 දී ශ්‍රි ලංකා පන්දු යවන්නන් ඔස්ට්‍රේලියා පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කරනු දක්නට ලැබුණා. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ජොෂ් ඉංග්ලිෂ් ලකුණු 27 ක් රැස්කළ අතර ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 22යි.

පැතුම් නිස්සංක රැකගත් අතිවිශිෂ්ට උඩපන්දුව හමුවේ මැක්ස්වෙල් දැවීගියා. ශ්‍රි ලංකා කණ්ඩායමේ පන්දු රැකීම ඊයේ ඉහළ මට්ටමක පැවතීමද විශේෂත්වයක්.

දෙවැනි පන්දුවාර 10 තුළ ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 71 ක් රැස්කළ අතර ඔවුන්ගේ කඩුලු 8 ක් දවාගැනීමටද ශ්‍රි ලංකාව සමත්වුණා.

ඒ අනුව ඔවුන් පන්දුවාර 20 ඇතුළත සියලු ක්‍රීඩකයින් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 181 ක්. පන්දු යැවීමේදී දුෂාන් හේමන්ත ලකුණු 37 කට කඩුලු 3යි.

තරගය ජයගැනීම සදහා ලකුණු 182 ක ඉලක්කයක් සමග ශ්‍රි ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ කුසල් ජනිත් පෙරේරා.

කුසල් එක් ලකුණකට දැවී ගිය අතර දෙවැනි කඩුල්ල සදහා කුසල් මෙන්ඩිස් සහ පැතුම් ‍නිස්සංක ලකුණු 97 ක සබදතාවක් ගොඩනැගුවා.

කුසල් මෙන්ඩිස් ඊයේ වාර්තා කළේ තම විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ 20 වැනි අර්ධ ශතකයයි.

මේ අතර මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අඛණ්ඩව වාර්තා කෙරුණු තුන්වැනි අර්ධ ශතකය මෙයයි. ‍

එවැනි දක්ෂතාවක් දැක්වූ ලොව 5 වැනි පිතිකරු ලෙස කුසල් මෙන්ඩිස් වාර්තා වන අතර දෙවැනි ශ්‍රී ලාංකික පිතිකරුවායි.

මෙන්ඩිස් ලකුණු 51 කට දැවී ගියා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ පැතුම් නිස්සංක මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට සමත්වුණා.

එය ශ්‍රි ලාංකික පිතිකරුවෙකු ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියක වාර්තා කළ‍ දෙවැනි ශතකය වන අතර ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩකයෙකු වාර්තා කළ පළමු ශතකයයි.

මේ අතර ශ්‍රි ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරගයක ශතක දෙකක් වාර්තා කළ පළමු පිතිකරුවා වන්නේද පැතුම් නිස්සංක. ඔහු පන්දු 52 කදී නොදැවී ලකුණු 100 ක් ලබාගත්තේ හතරේ පහර 10 ක් සහ හයේ පහර 05 ක් සමගයි.

පවන් රත්නායක පන්දු 15 කදී නොදැවී ලකුණු 28 ක් රැස්කළා. ශ්‍රි ලංකාව පන්දුවාර 18 කදී කඩුලු දෙකක් දැවී ලකුණු 184ක් රැස්කරමින් තරගයේ ජය වාර්තාකළා.

මෙය ශ්‍රි ලංකාවේදී විස්සයි විස්ස තරගයක් වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ශ්‍රි ලංකා කණ්ඩායම ජයගත් අවස්ථාව ලෙසයි වාර්තාවන්නේ. මේ අතර ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියක මෙරටදී වැඩිම දෙවැනි ලකුණු හඹායාමද මෙයයි.

ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියක තුන්වැනි වැඩිම ලකුණු හඹායාම ලෙසත් මෙය වාර්තා අතරට එක්වුණා.

තරගයේ වීරයා පැතුම් නිස්සංක. තරගය ජයග්‍රහණයෙන් අනතුරුව ක්‍රීඩා ලෝලීන් සතුට සැමරුවේ මෙලෙසින්.