සෙංකඩගලනුවර මහා මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද

‍ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර, අද වීථි සංචාරය කිරීමට නියමිතයි.

පෙරහර ජාතික රූපවාහිනිය ඔස්සේ අද රාත්‍රී සජීව ලෙස විකාශය කෙරෙනවා.

නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව්මහා දේවාල පෙරහර සමඟින් ශ්‍රී දළදා මාළිගාව පෙරහර ඇතුළත් සිව්වැනි රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රී වීථි සංචාරය කළා.

දළදා වීදිය, යටිනුවර වීදිය, හරස් වීදිය, කොටුගොඩැල්ල වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර පෙරහර රජ වීදියෙන් ඉහළට ගෙවැදීම සිදුවුණා.

සධාතුක කරඬුව වැඩම කරවනු ලැබුවේ කතරගම වාසනා හස්තියා විසින්.

ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර පසුගිය මස 30 වැනිදා ආ‍රම්භ වූ අතර පුරා දින 9ක් පෙරහර වීථි සංචාරය කිරීමෙන් පසු අවසන් රන්දෝලි පෙරහර අද වීථි සංචාරය කෙරෙනවා.

ශ්‍රී දළදා මාලිගාව අබියසින් උතුරු දිශාභිමුඛව රාත්‍රී 6.51 ට ගමන් ආරම්භ කර පෙරහර දළදා වීදීය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළටවිත් ගෙවැදීමට නියමිතයි.‍