අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 50 ක් යටතේ නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අලුත් නඩුවක් ගොනු කර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ මෙම නඩුව අද කැඳවනු ලැබුවා.
ඉන් අනතුරුව එම නඩුවට අදාළව විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම සිදුකළා.
අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු කොස්තාපල්වරයකු වන රවිදු සන්ධිප ගුණසේකර, දිනේෂ් තරංග, රුවන් චාමර හෙවත් මිදිගම රුවන් සහ සංජීව අබේසිංහ යන විත්තිකරුවන් නම් කර තිබෙනවා.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී දැඩි ආරක්ෂක විධිවිධාන මැද අදාළ විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබූණා.
අද චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකනු ලබාගෙන වාර්තා කැඳවීමටද අධිකරණය නියම කළා.
ඒ අනුව හරක් කටා නමැති විත්තිකරු රඳවාගෙන සිටින රැඳවුම් නියෝගය අවසන් වීමෙන් පසුව ඔහුව රක්ෂිත බන්ධනා කරන ලෙස විනිසුරු වරයා නියම කළා.
සෙසු විත්තිකරුවන් හතර දෙනා රක්ෂිත බන්දනාගාර ගත කිරීමටද විනිසුරුවරයා විසින් නියම කරනු ලැබුවා.
ඉන් අනතුරුව නඩුව යළිත් සැප්තැම්බර් මස 24 වන දා කැඳවීමටයි අධිකරණය නියම කළේ.
මෙම සිද්ධියට අදාළව මීට පෙර නීතිපතිවරයා විසින් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබූ අතර එම චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කලා.
එම නඩුවට එරෙහිව විත්තිකරුවන් අභියාචනාදීකරණය හමුවේ අභියාචනා ඉදිරිපත් කර තිබෙන බැවින් එම අභියාචනා ඉල්ලා අස්කර ගැනීමට විත්තිකරුවන් කටයුතු කරන්නේ නම් සම්බන්ධයෙන් නියෝගයක් ලබා දිය හැකි බව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළා.
ඒ අනුව අදාළ අභියාචනා ඉල්ලා අස්කර ගැනීම සඳහා මෝෂන් පත්‍රයක් තමන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන බව විත්තියේ නීතිඥවරු දැනුම් දුන්නා.
ඉන් අනතුරුව එම කටයුතුවල ප්‍රගතිය මීළඟ නඩු දිනයේ දැනුම් දෙන ලෙසත් විනිසුරුවරයා පාර්ශව කරුවන්ට නියම කළා.
2023 වසරේ අප්‍රේල් මස පළවන දාසා හිම වසරේ සැප්තැම්බර් මස 10 වනදා අතර කාලසීමාව තුළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරය රඳවාගෙන සිටි හරක් කටා නැමැති විත්තිකරුට පලායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 50 ක් එල්ලකරමින් විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.
මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින්දෙ 74 දෙනෙකුද නම් කර තිබෙනවා.
