හානියට පත් මාර්ග පද්ධතිය කඩිනමින් පිළිසකර කරන ලෙස ජනපතිගෙන් උ‍පදෙස්

ආපදාවෙන් පසු ජන ජීවිතය යථාවත් කිරීමේදි හානියට පත් මාර්ග පද්ධතිය කඩිනමින් පිළිසකර කර ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛතාව දී කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උ‍පදෙස් දී තිබෙනවා.

ඒ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරින් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදි‍.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාව කැඳවා තිබුණේ “දිට්වා” සුළිකුණාටුව හේතුවෙන් හානියට පත් පාලම් සහ මහාමාර්ග සම්බන්ධ තොරතුරු හා ඒවා පිළිසකර කිරීම වෙනුවෙන් ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව සොයාබැලීම සඳහායි.

නායයෑම්, ජල ගැලීම් සහ ගංවතුර තත්වය හේතුවෙන් විනාශ වී ගොස් තිබෙන පාලම් සහ මහාමාර්ග පිළිසකර කිරීම, ඊට ගතවන කාලය හා අදාළ ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

අමාත්‍යාංශ නිලධාරින් පෙන්වා දුන්නේ අයහපත් කාලගුණය බලපෑමෙන් මෙරට ඒ සහ බී ශ්‍රේණියේ කිලෝමීටර 247 ක් පමණ වන මාර්ග හානියට පත්ව ඇති බවයි.

පාලම් 40 ක් විනාශ වී තිබෙනවා. කැඩී ගිය මාර්ග කොටස් 256 න් 175 ක් මේ වනවිට ගමනාගමනය සඳහා විවෘත කර ඇති බවද නිලධාරින් සඳහන් කළා.

අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ මුදල් අමාත්‍යාංශයේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.