හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව යළි සලකා බැලීම අද

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව අද (29) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාමට රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනුකර තිබුණා.

ඒ අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය අගෝස්තු මස 22 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.

හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඔහුව රුපියල් ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප තුනක් යටතේ මුදාහැරීමට නියම කළ අතර නඩුවිභාගය අද දිනයේ යළි කැඳවීමට නියෝග කළා.

ඒ අනූවයි, නඩුව අද යළි කැඳවීම සිදුකෙරෙන්නේ.