හොලිවුඩ් සජීවීකරණ සිනමාවේ නව වාර්තාවක්.. ‘ඉන්සයිඩ් අවුට්’ පරදා ‘සූටොපියා 2’ පෙරමුණට

ඩිස්නි (Disney) සිනමා සමාගම විසින් නිෂ්පාදිත ‘සූටොපියා 2’ (Zootopia 2) සජීවීකරණ චිත්‍රපටය, ලොව වැඩිම ආදායමක් ඉපයූ හොලිවුඩ් සජීවීකරණ චිත්‍රපටය ලෙස අභිෂේක ලබමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව ඇත.

ආදායම් වාර්තාව තිරගත කිරීම් ආරම්භ කර කෙටි කලක් ඇතුළත ඇමරිකානු ඩොලර් බිලියන 1.7ක (පවුම් බිලියන 1.3) දැවැන්ත ආදායමක් උපයා ගැනීමට මෙම සිතුවම සමත් විය. ඒ අනුව මෙතෙක් එම වාර්තාවට හිමිකම් කියූ ‘ඉන්සයිඩ් අවුට් 2’ (Inside Out 2) හි බිලියන 1.69ක ආදායම් වාර්තාව බිඳ වැටුණි.

වේගවත්ම ‘ඩොලර් බිලියනය’ මෙම චිත්‍රපටය පිහිටුවූ තවත් විශේෂ වාර්තාවක් වන්නේ හොලිවුඩ් සජීවීකරණ චිත්‍රපටයක් ඩොලර් බිලියනයේ සීමාව පසු කළ වේගවත්ම අවස්ථාව ලෙස මෙය සටහන් වීමයි. පසුගිය නොවැම්බර් මාසයේ අමෙරිකානු ස්තූති දීමේ නිවාඩු සමයේ (Thanksgiving) දියත් කෙරුණු මෙම නිර්මාණය, මුල් දින පහ තුළ පමණක් ඩොලර් මිලියන 559.5ක වාර්තාගත ආදායමක් හිමිකර ගත්තේය.

ඉතිහාසගත සාර්ථකත්වය ලොව වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට 10 අතරට එක් වීමටද ‘සූටොපියා 2’ මේ වන විට සමත්ව ඇත. එය මේ වන විට ඇවෙන්ජර්ස්: එන්ඩ්ගේම්, ස්ටාර් වෝර්ස් සහ ටයිටැනික් වැනි ලෝක පූජිත චිත්‍රපට සමඟ කරට කර සටනක නිරත වේ.

නැවත හමුවන ප්‍රියතම චරිත 2016 වසරේ තිරගත වූ ප්‍රථම චිත්‍රපටයේ සාර්ථකත්වය මත පදනම් වූ මෙම දෙවන නිර්මාණයෙන්, ජූඩි හොප්ස් (හාවි) සහ නික් වයිල්ඩ් (හිවලා) නැවතත් සිය රහස් පරීක්ෂණ වික්‍රමය ආරම්භ කරයි. මෙවර ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ ‘ගැරී ද ස්නේක්’ නම් අද්භූත උරග චරිතයකටය.

ඩිස්නි කළමනාකාරීත්වයේ ප්‍රතිචාරය මේ පිළිබඳ අදහස් දක්වමින් ඩිස්නි එන්ටර්ටේන්මන්ට් සම-සභාපති ඇලන් බර්ග්මන් මහතා පැවසුවේ, “මෙම ඓතිහාසික ජයග්‍රහණයේ නියම හිමිකරුවන් වන්නේ ලොව පුරා විසිරී සිටින උද්යෝගිමත් රසිකයන්” බවයි.

හොලිවුඩ් වාර්තා මෙලෙස බිඳ වැටුණ ද, චීනයේ නිෂ්පාදිත ‘නේ ශා 2’ (Ne Zha 2) චිත්‍රපටය ඩොලර් බිලියන 2.2ක ආදායමක් ලබා ගනිමින් තවමත් ලොව වැඩිම ආදායම් ලැබූ සජීවීකරණ චිත්‍රපටය ලෙස අංක එකේ පසුවේ.