73ක් එලොව යැවූ බිහිසුණු බස් අනතුර

ඇෆ්ගනිස්ථානයේ සිදුවූ රිය අනතුරකින් 73 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඉන් 17 දෙනෙකු ළමයින් වනවා.

මිය ගිය පිරිස අතර වැඩි දෙනෙකු ඉරානයෙන් පිටුවහල් කරන ලද ඇෆ්ගනිස්ථානු සංක්‍රමණිකයින් බවයි, වාර්තා වන්නේ.

පිරිස රැගත් බස් රථය කාබුල් බලා ධාවනය වෙමින් තිබියදී ‍හේරාට් පළාත ආසන්නයේ දී ට්‍රක් රථයක සහ යතුරුපැදියක ගැටීමෙන් ගිනි ගෙන තිබෙනවා.

ගින්නෙන් බස් රථයේ සිටි සියලු දෙනාම සහ අනෙක් වාහනවල ගමන් කළ දෙදෙනෙකු ද මිය ගොස් තිබෙනවා.

හේරට් පළාත් පොලිසිය ප්‍රකාශ කරන්නේ, බස් රථ රියදුරුගේ අධික වේගය සහ නොසැලකිලිමත් බව අනතුරට හේතු වී ඇති බවයි.

ඇෆ්ගනිස්ථාන දේශසීමා ආසන්නයේ මෙවැනි අනතුරු බහුලව වාර්තා වන බව, පළාත් ආණ්ඩුකාරවරයා පවසනවා.

මෑත කාලයේ ඉරානයේ සිදු වූ ගැටුම් හේතුවෙන් එරට මෙතෙක් රැඳී සිටි ඇෆ්ගනිස්ථාන සංක්‍රමණිකයින් පිටුවහල් කිරීම එරට රජය තීරණය කරනු ලැබුවා.

ගැටුම්කාරි තත්වයන් හේතුවෙන් දශක ගණනාවක් පුරා මාර්ග රැසක පවතින අවදානම් සහගත තත්වය මෙන්ම මාර්ග නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම ද ඇෆ්ගනිස්ථානයේ අනතුරු බහුල වීමට බලපා තිබෙනවා.

ඉකුත් ජූලි මාසයේ දී ලියපදිංචි නොවුණු ඇෆ්ගනිස්ථාන සංක්‍රමණිකයින්ට ස්වේච්ඡාවෙන් පිටව යාමට ඉරානය අවසන් දිනයක් ලබා දී තිබුණා.

පසුගිය ජූනි මාසයේ දී ඊශ්‍රායලය, ඉරානය සමග ඇති කර ගත් කෙටිකාලීන යුධමය වාතාවරණය හමුවේ ලක්‍ෂ සංඛ්‍යාත ඇෆ්ගනිස්ථාන ජාතිකයින් පිරිසක් බලහත්කාරයෙන් ආපසු හරවා යැවීමට ඉරානය රජය පියවර ගනු ලැබුවා.