කමේනි වෙනුවෙන් ටෙහෙරාන් නුවර ජනතාවගෙන් වැසී යයි

අමෙරිකා සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ ඉරානයේ උත්තරීතර නායක ආයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයට ටෙහෙරාන් අගනුවර වෙත අතිවිශාල ජනකායක් පැමිණෙමින් පවතිනවා.

පසුගිය පෙබරවාරි 28 වනදා එල්ල වූ එම ප්‍රහාරයෙන් පසු පැවැත්වෙන මෙම අවමංගල්‍ය රාජ්‍ය උත්සවය සඳහා ඉරාන වැසියන් මිලියන ගණනින් මෙලෙස අගනුවර වෙත පැමිණෙන බවයි වාර්තා වන්නේ.

උත්තරීතර නායකයාගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන ටෙහෙරාන් අගනුවර ප්‍රධාන වීදි සහ චතුරශ්‍රයන් මේ වන විටත් ජනතාවගෙන් සම්පූර්ණයෙන්ම වැසී පවතින අතර ආරක්ෂාව සඳහා විශේෂ හමුදා බලඇණි ද යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය උත්තරීතර නායකයාට ගෞරව දැක්වීම සඳහා පැමිණි ජනතාව අමෙරිකාවට සහ ඊශ්‍රායලයට එරෙහිව දැඩි ලෙස සටන් පාඨ කියමින් විරෝධය පළ කරන බව ද විදෙස් මාධ්‍ය පවසනවා.

පවතින දැඩි උණුසුම් දේශපාලන තත්ත්වය මධ්‍යයේ වුවද, රටේ ප්‍රමුඛ පෙළේ දේශපාලන සහ ආරක්ෂක ප්‍රධානීන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම අවමංගල්‍ය කටයුතු සිදු කෙරෙන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් කියා සිටින්නේ.