නිකිණි පුර පස‍ළොස්වක පොහොය අදයි

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ නිකිණි පුර පසළොස්වක පොහොය අදයි.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ධර්මයේ චිරස්ථිතිය උදෙසා ප්‍රථම ධර්ම සංගායනාව රජගහනුවරදී පැවැත්වුණේ, නිකිණි පුර පසලොස්වක පොහොය දිනකයි. 

එය සිදු කෙරුණේ, එදින රහත්භාවය ලැබූ ආනන්ද මහතෙරුන් ඇතුළු රහතන් වහන්සේ 500 නමකගේ වැඩමවීමෙන්, ආනන්ද හිමියන් ශ්‍රී සද්ධර්මය ද, උපාලි හිමියන් විනය ද ඉදිරිපත් කළ බව ශාසන ඉතිහාසයේ සඳහන්.

පෙරවස් සමාදන් නොවූ භික්ෂූන් වහන්සේ පසුවස් සමාදන් වීමේ විනය කර්මයද සිදු කෙරෙන්නේ, නිකිණි පොහොය දිනයේ දී.

නිකිණි පොහොය “දරමිටි පොහොය” ‍ලෙස ද හඳුන්වනු ලබනවා.

ඒ සිංහල බෞද්ධයන්ගේ සංස්කෘතිකාංගයක් ලෙසයි. 

අතීතයේදී ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින උඩමළුව සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට හා වන සතුන්ගෙන් රැක ගැනීමට සැදැහැවතුන් උඩමළුව වටකොට පහළින් ගිනිමැල දල්වා නිදිවර්ජිතව ක්‍රියා කර තිබෙනවා.