මෙරට ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට ප්‍රතිපාදන සැපයෙන, ජීවිතයට වාසනාව කැන්දන “ආයුබෝ” දිනපතා ලොතරැයිය ජනගත කෙරේ.

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තිරසාර ලෙස  ශක්තිමත් කිරීමේ ගමන් මගෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල (NHDF) වෙත සෘජුවම ප්‍රතිපාදන ලබාදෙන  නව “ආයුබෝ” දිනපතා ලොතරැයිය නිල වශයෙන් ජනගත කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී සිරිල් අන්තෝනි පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී සිදු කෙරිණි.

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව ජාතික ලොතරැයි මණ්ඩලය මගින් මෙම නව ලොතරැයිය වෙළඳපොලට හදුන්වා දෙනු ලබන අතර මෙම ලොතරැයියේ පළමු දිනුම් වාරය විශේෂ දිනුම් වාරයක් ලෙසින් දිනුම් අවස්ථා 15 ක් සමගින් 2026 ඔක්තෝබර් මස 12 දින දිනුම් ඇදීමට නියමිතය.

මෙහිදී නව “ආයුබෝ” ලොතරැයි ආකෘති පත්‍රය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත පිළිගැන්වීම ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී සිරිල් අන්තෝනි පෙරේරා, සාමාන්‍යාධිකාරී ඒ.එම්. අරීෆ් සහ අතිරේක සාමාන්‍යාධිකාරී නීතීඥ සංජීව එදිරිසිංහ, ප්‍රධාන මූල්‍ය නිලධාරී ටී.ඩි රසිකා ප්‍රබෝදනී, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ සභාපති විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදි.

මෙම නව ලොතරැයිය ජනගත කිරීමේ නිල උත්සවයේදී රෝගීන් පරීක්ෂා කිරීම සඳහා වන ‘Patient Monitor’ යන්ත්‍රයක් සංකේතාත්මකව ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.

දීර්ඝායුෂ සහ නිරෝගීභාවය ප්‍රාර්ථනා කරන අපගේ සාම්ප්‍රදායික ආශිර්වාදය පෙරටු කරගත් “ජීවිතයට වාසනාව” කැන්දන මෙම නව “ආයුබෝ” ලොතරැයි පතෙහි ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ නිල ලාංඡනය පැහැදිලිව සටහන් කර තිබේ. යම් පුරවැසියකු මෙම ලොතරැයිපතක් මිලදී ගන්නා විට, ඔහු හෝ ඇය හුදෙක් දිනුම් ඇදීමකට පමණක් නොව, රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව සඳහා සෘජු සමාජයීය දායකත්වයක් සපයනු ලබයි. ලොතරැයියෙන් ලැබෙන සෑම රුපියලක්ම සෘජුවම යොමු කෙරෙන්නේ සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීමට, නවීන වෛද්‍ය උපකරණ, තාක්ෂණය ලබා ගැනීමට සහ හදිසි සෞඛ්‍ය තත්ත්වයන්ට මුහුණ දීමටයි.

1995 වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හදිසි සෞඛ්‍ය අවශ්‍යතාවලට සහායවීම සඳහා කැප වූ මුල්‍ය යාන්ත්‍රණයක අවශ්‍යතාව හදුනා ගනිමින් ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙනුවෙන් විශේෂිත සෞඛ්‍ය ලොතරැයියක් ආරම්භ කරන ලෙස  ජාතික ලොතරැයි මණ්ඩලයෙන් කළ ඉල්ලීමකට අනුව  “ආරෝග්‍යශාලා” ලොතරැයිය ආරම්භ වූ අතර, පසුගිය දශක කිහිපය පුරා රෝහල්වල යටිතල පහසුකම් සංවර්ධනයට, වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට, මහජන සෞඛ්‍ය වැඩසටහන් ප්‍රවර්ධනයකට සහ වෛද්‍ය පර්යේෂණ සඳහා නිහඬ මෙහෙවරක් ඉටු කරන ලදි.

කාලයත් සමග සිදු වූ සන්නාම වෙනස්කම් හේතුවෙන් මෙම ලොතරැයියෙන් මහජන සෞඛ්‍යයට සිදු වන සෘජු දායකත්වය පිළිබඳ මතකය ජනතාවගෙන් තරමක් ඈත් වූ අතර, ජාතික ලොතරැයි මණ්ඩලයේ දෛනිකව දිනුම් අදින 09 වන ලොතරැයි සන්නාමය ලෙස මෙම “ආයුබෝ” ලොතරැයිය මගින් නැවතත් එම සෘජු සබඳතාව ඉතා පැහැදිලි ලෙස  ජනතාව හමුවට ගෙන ඒමට කටයුතු කරනූ ලබයි.

මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දක්වමින් පැවසූවේ මෙරට ජනතාවට ලබාදෙන සෞඛ්‍ය සේවාවන් තවත් ඉහළ නැංවීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය සිදු කරන මෙහෙවරක සමාරම්භක අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව හඳුන්වා දිය හැකි බවයි. වසර 70 කට ඉහත ආරෝග්‍යා ලොතරැයියෙන් ආරම්භව “ආයුබෝ ” ලොතරැයි දක්වා මෙම සමාජ සත්කාරය වර්ධනය වී ඇති බවද පෙන්වා දුන් අමාත්‍යවරයා ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට විවිධ ආයතන හරහා දායකත්වයන්  සැපයීම ඉතා වටිනා බවත්, එම සියළු දායකත්වයන් තුළින් මෙරට ජනතාවගේ නිරෝගීභාවය ඇති කිරීමටත්, සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම මෙන්ම ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හේතු සාධක වන බව ද වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක් වූ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී සිරිල් අන්තෝනි පෙරේරා මහතා රජය විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා හදුන්වාදී ඇති නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා වැඩි මුල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයක් අවශ්‍ය වන බවත්, එ් අනුව මහා භාණ්ඩාගාරයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට වෙන් වෙන වාර්ෂික අයවැය ඇස්තමේන්තුවල ප්‍රමාණය ඉක්මවා යන්නා වූ මුදලක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය වන බව ද පැවැසීය. මෙම ලොතරැයි ආදායමෙන් එම මුදලට අතිරේකව විශාල මුදලක් එකතු කර දී මෙරට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට ආයෝජනය කළ හැකි ආකාරයට ලබාදීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ සභාපති විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද මෙහිදී අදහස් දක්වන ලදි.

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල (NHDF) යනු 1981 අංක 13 දරන පාර්ලිමේන්තු පනතින් ස්ථාපිත කරන ලද, සෞඛ්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් භාරකාර මණ්ඩලයක් (Board of Trustees) මගින් පාලනය වන සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ස්වාධීන නීතිමය ව්‍යවස්ථාපිත මණ්ඩලයකි.

පවතින ඉහළ රාජ්‍ය පාරදෘශ්‍යභාවය හේතුවෙන්, ස්වභාවික හෝ හදිසි ආපදා තත්ත්වයන් වැනි හදිසි අවස්ථාවලදී වහාම ප්‍රතිචාර දැක්වීම සඳහා සෞඛ්‍ය කණ්ඩායම් වෙත කඩිනමින් ප්‍රතිපාදන නිදහස් කිරීමේ සුවිශේෂී හැකියාව මෙම අරමුදල සතු වේ. මෙය මහජනතාවගේ ස්වේච්ඡා දායකත්වය මත පදනම් වූ, රාජ්‍ය නියාමනයට ලක්වූ සුභසාධන යාන්ත්‍රණයකි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ සභාපති විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ සාමාජිකයින් වන  අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ජී.එස් කරුණාරත්න, ආයුර්වේද කොමසාරිස් ජනරාල් දීප්ති සුමනසේන යන මහත්ම මහත්මීන් මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ නිලධාරීන් සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.