භාරතීයන්ට අමිහිරි පරාජයක්

ඉන්දියාව සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 5 කින් ජය ගැනීමට එංගලන්තය සමත් වුණා.  තරගය පැවැත්වුණේ, එංගලන්තයේ ලීඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. 

තරගයේ පළමු ඉනිමට ඉන්දියාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 471 ක්.  එහිදී ශුබ්මන් ගිල්, රිෂාබ් පාන්ට් සහ යෂස්වි ජයිස්වාල් ශතක වාර්තා කළා. 

පිළිතුරු ලෙස එංගලන්තය පළමු ඉනිමට ලබාගත් ලකුණු සංඛ්‍යාව 465 ක්.  ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 364 යි. 

අනතුරුව තරගය ජය ගැනීමට එංගලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 371 ක්. 

අවසන් දිනට තරගය ආරම්භ කරන විට ඔවුන් දෙවැනි ඉනිමට කිසිවෙකු නොදැවී ලකුණු 21 ක් ලබා සිටියා. 

එංගලන්තය තරගය ජය ගත්තේ, කඩුලු 5 ක් දැවී ලකුණු 373 ක් රැස් කරමින්.  බෙන් ඩකට් ලකුණු 149 යි. 

තරගයේ ඉනිම හතරේදී ශතක 7 ක් වාර්තා කිරීමද විශේෂත්වයක්. මෙම ජයග්‍රහණය ඉතිහාසයට එක්වුණේ, එංගලන්තය ටෙස්ට් ක්‍රිකට් තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජයගත් දෙවැනි තරගය ලෙසයි.