අන්තර්කරණ අධ්‍යාපනයට රජයේ ප්‍රමුඛතාව ලබා දෙනවා

සියලු ගුරුවරුන් දරුවන්ගේ අවශ්‍යතා හදුනා ගතහැකි පිරිසක් විය යුතු බවත්, අන්තර්කරණ අධ්‍යාපනයට (Inclusive Education) රජයේ ප්‍රමුඛතාව ලබා දී ඇති බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.

ජුනි 26 දින කොළඹදී පැවති අන්තර්කරණ අධ්‍යාපනය පිළිබඳ ඉහළ මට්ටමේ පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ සැසිය සහ ප්‍රතිපත්ති සමාලෝචනය – 2025 වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජාතික ප්‍රමුඛතාවයක් ලෙස අන්තර්කරණ අධ්‍යාපනය (IE) පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම, අන්තර්කරණ අධ්‍යාපනය පිළිබඳ ජාතික සැලැස්ම ඉදිරිපත් කිරීම, අන්තර්කරණ අධ්‍යාපනයේ ප්‍රධාන සැලැස්ම ශක්තිමත් කිරීම සඳහා බහු ආංශික යෙදවුම් රැස් කිරීම සහ අන්තර්-අමාත්‍යාංශ සහ අන්තර් – දෙපාර්තමේන්තු සහයෝගීතාව වර්ධනය කිරීම මෙම සැසියේ අරමුණයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා මෙසේ ද කීය.

අපේ රජයේ ප්‍රතිපත්ති මාලාවේ අධ්‍යාපනයට ප්‍රමුඛතාවක් අපි ලබාදීලා තිබෙනවා. අන්තර්කරණ අධ්‍යාපනය අපේ රටට ඉතා වැදගත් කියලා බොහෝ අය හදුනාගෙන තිබුණත් කිසිදු අවස්ථාවක ඒ සඳහා ප්‍රමුඛතාවක් හිමි වුණේ නැහැ. අපේ රජය යටතේ අපි අන්තර්කරණ අධ්‍යාපනයට විශේෂ අවධානයක් ලබා දීලා ප්‍රමුඛතාව ලබා දෙන්න කටයුතු කරමින් යනවා. ඒක ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ ප්‍රධාන කොටසක්.

අන්තර්කරණ අධ්‍යාපනයේ මූලික දේ තමයි ළමයින් හඳුනාගැනීම. සෞඛ්‍ය අංශවලින් හදුනා ගැනීම් සිදු කෙරෙනවා. නමුත් සමහර අවස්ථාවල එතනින් එහාට ගොස් දරුවන් හඳුනාගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍යයි. එසේ නොවුණොත් අපිට දරුවන් මග ඇරෙන්න පුළුවන්. ඒ නිසා ළමයි හඳුනාගැනීම වෙනුවෙන් විශේෂ වැදගත්කමක් තියෙනවා.

මුලින් එකී හදුනාගැනීම් කළ හැකි පරිදි දරුවන් ස්පර්ශ වන පාර්ෂවය දෙමාපියන්, ඊළඟට ගුරුවරු.

ගුරුවරුන්ට විශේෂයෙන් හැකියාවක් තිබිය යුතුයි දරුවන්ගේ අවශ්‍යතා හඳුනාගැනීමට. සියලුම ගුරුවරුන් යම්කිසි දරුවෙක්ගේ විශේෂ අවශ්‍යතාවක් තියෙනවා නම් හඳුනාගත හැකි තත්වයක සිටිය යුතුයි. හදුනාගැනීම පමණක් ඇති යොමු කිරීම ඊලඟට සිදු කරන්න පුලුවන්.

තව වැදගත් කාරණා කීපයක් ජාතික ප්‍රතිපත්තිය යටතේ අපි හදුන්වා දී තිබෙනවා.විශේෂ අවශ්‍යතා සහිත සියලුම දරුවන්ට ආරක්ෂිත වාතාවරණයක්, ආරක්ෂිත පරිසරයක් වගේම ආරක්ෂිත ආයතනයක් සහතික කිරීමත් කළ යුතුයි. ඒ වගේම ඒ දරුවන්ගේ ඉදිරි අනාගතය සුරක්ෂිත කිරීමත් පොදු ප්‍රතිපත්තියක්.

විශේෂයෙන් ඒ දරුවන්ට සමාන අවස්ථා සහ වෘත්තීය අධ්‍යාපනය ලබා දීමටත් අපේ අවධානය යොමුවෙලා තිබෙනවා. ලබන අවුරුද්දේ ඉඳලා ඒ සඳහා විශ්වවිද්‍යාල අවස්ථා නිර්මාණය කරන්නත් අපි සාකච්ඡා කළා.

කිසිම වෙලාවක දරුවන් මගහැරෙන්න නොදිය යුතු බවත් අනතර්කරණ අධ්‍යාපනය වෙනුවෙන් කෙටිකාලීන, දිගුකාලීන සැලසුම් අවශ්‍ය බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.

යුනිසෙෆ් ආයතනයේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් (Christian Skoog), යුනිසෙෆ්හි අන්තර්කරණ අධ්‍යාපනය පිළිබඳ උපදේශක නටාෂා ග්‍රැහැම් (Natasha Graham), අධ්‍යාපන අමාත්‍යංශයේ අතරේක ලේකම්වරුන්, ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන්, පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.