
කාර්ලෝ ඇකියුටිස් 2006 වසරෙහිදී මෙලොවින් සමුගත්තේය. ඒ ඔහුගේ ජීවිතයේ අවසානය සටහන් කළ ‘ලියුකේමියා’ නම් වූ රෝග තත්ත්වය නිසාය. බ්‍රිතාන්‍යයෙහි උපන් ඉතාලියානු යෞවනයෙකු වූ කාර්ලෝගේ ජීවිතයෙහි හර තේමාව වූයේ දිව්‍ය සත්ප්‍රසාද වන්දනයයි. 13 වියෙහි දී, එතුමා ශුද්ධවරයට එසවීම සඳහා මූල අභිප්රායක් විවෘත කෙරිණි. ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්වහන්සේ විසින් 2020 ඔක්තෝබර් 10 දින දී එතුමා භාග්‍යවන්ත ධුරයට ඔසවන ලදි.
ධනවත් ඉතාලියානු පවුල්වල සාමාජිකයන්වූ ඇන්ඩ්රයෝ ඇකියුටිස් සහ අන්තෝනියා ෂල්සානෝට දාව, කාර්ලෝ ඇකියුටිස් උපන්නේ 1991 මැයි 3 දින දී එංගලන්තයෙහි ලන්ඩනයෙහි දී ය. ඇකියුටිස් පවුල ඉතාලියානු රක්ෂණ කර්මාන්තයෙහි වැදගත් ස්ථානයක් හිමි කරගෙන සිටියහ. ඔවුහු ෂල්සානෝවරු නාමයෙන් මුද්‍රණ සමාගමක් මෙහෙය වූහ. ඇකියුටිස්ගේ මවු පාර්ශ්වයෙහි මිත්තණිය එක්සත් ජනපදයෙහි උපත ලබා සිටි අතර, නිව්යෝර්ක්හි ඉඩම් හිමි පවුලකින් පැවැත ආහ.
චල්සීහි ඩොලෝර්ස් අප ස්වාමිදුවගේ දේවස්ථානයෙහි දී 1991 මැයි 18 දිනදී ඔහුගේ බෞතීස්මය සිදු කෙරිණි. ඔහුගේ පිය පාර්ශ්වයෙන් සීයා වූ කාර්ලෝ, ඔහුගේ ඥාන පියා විය; ඔහුගේ මවු පාර්ශ්වයෙන් ආච්චි වූ ලුවානා, ඔහුගේ ඥාන මව විය. ඔහුගේ උපතට පෙර, ඇකියුටිස්ගේ පවුල ලන්ඩනයෙහි සහ ජර්මනියෙහි වෘත්තිමය කටයුතුවල නියැළී සිටිය ද, 1991 සැප්තැම්බරයෙහි දී, එනම් ඔහුගේ උපත සිදුවී වැඩි කලක් ගතවීමට පෙර මිලාන් නුවර වෙත සංක්‍රමණය වූහ. දෙමවුපියන් දෙදෙනාම ඔවුන්ගේ පවුල්වල ව්‍යාපාර කටයුතුවල නිරත වූ අතර ඇකියුටිස් ඇති දැඩි කිරීම නව අයිරිෂ් ජාතික කිරි මවක වෙත පැවැරිණි.
ළමාවිය
සුරැකුම් මධ්‍යස්ථානයට දෙමවුපියන්ගේ පැමිණීම් කිහිපයක් හැරෙන්නට ඇකියුටිස්ගේ මුල් දිවිය සම්පූර්ණයෙන්ම පාහේ ගෙවුණේ කිරි මවුන් ඇසුරේය. කාර්ලෝගේ මව සුරැකුම් මධ්‍යස්ථානයකට එවන් පැමිණීමකදී අනෙකුත් ළමුන් අතර ඔහු හිංසනයට ලක්වන බව දුටුවාය. ඒ වන විට ඔහු සිටියේ පෝලන්ත ජාතික කිරි මවක යටතේ වූ අතර ඇකියුටිස් ‘හොඳ වැඩි’ බවක් සිතූ ඇය, අනෙකුත් ළමුන් විසින් ඔහුගේ සෙල්ලම් බඩු පැහැර ගැනීම වැළැක්වීමට කිසියම් රීති කිහිපයක් උගැන්වීමට ඇය උත්සාහ ගත්තාය. ඒ කෙසේ වෙතත් මෙය පිළිබඳ ඔහු වරෙක ඇය වෙත ප්‍රතිචාර දැක්වූයේ, “මට කේන්ති ගියොත් ජේසුතුමා සතුටු නොවිය හැකි බවක්” පවසමිනි.
ගිම්හාන කාලයෙහි දී ඔහුගේ මවගේ දෙමවුපියන් සමඟ ජීවත්වීම සඳහා සෙන්ටෝලා වෙත ඇකියුටිස් යැවිණි. දහවල් කාලයෙහි දී වෙරළෙහි ගතකරන ඔහු, ඉන්පසු ප්‍රදේශයෙහි පදවි දේවස්ථානයෙහි මහලු කාන්තාවන් කිහිප දෙනෙකු හා එක් වන්නේ ජපමාලය උච්චාරණය කිරීමටය. ඔහුගේ පවුල සතුව සාන්ත මාර්ගරීතා ලිගුරහි යාත්‍රාවක් තිබුණි. යාච්ඤා කිරීම සඳහා ඔහු පැමිණෙන්නේ මේ යාත්‍රාවෙනි.
පාසල්විය
ඇකියුටිස්ගේ පළමු ප්‍රාථමික පාසෙල වූයේ මිලාන්හි අතිශයින් උසස් පාසලක් වූ සැන් කාර්ලෝ විද්‍යාස්ථානය විය. 1997 සැප්තැම්බරයෙහි දී එම පාසල වෙත ඔහු ඇතුළු වූ නමුදු, පාසල වෙත ඔහුගේ නිවෙසෙහි සිට මහත් දුරක් වූ බැවින් තෙමසකට පසුව ඔහුගේ නිවෙසට සමීපයෙහි වූ, ශුද්ධවූ මර්ෂලීනා කන්‍යා සොහොයුරියන් විසින් පාලනය කරනු ලැබූ මර්ෂලීන් තොම්මාසේයෝ විද්‍යාස්ථානය වෙත ඇතුළත් කෙරිණි. පාසල වෙත පිය නඟමින් යන මගෙහි, ඔහු හට හමු වූ බොහෝ විට ඉතාලියානුවන් නොවූ නිවෙස් රැකවලුන් වෙත ඔහුගේ විශේෂ අවධානය යොමු විය. විගසින්, ඇකියුටිස් ඔවුන්ගේ නම් ධාරණය කර ගත් අතර, සෑම උදයකම නැවතී ඔවුනට ආචාර කළේය.
2002 සැප්තැම්බරයෙහි සිට, මර්ෂලීන් තොම්මාසේයෝ විද්‍යාස්ථානය වෙතින් ඔහු මධ්‍ය පාසල් අධ්‍යාපනය ලැබීය. එයින් පසුව, ඇකියුටිස් ජේසු නිකායික ඉන්ස්ටිට්යුටෝ ලියෝනි XIII උසස් පාසලෙහි අධ්‍යාපනය ලැබීය.
ඔහු සාමාන්‍ය මට්ටමෙහි ශිෂ්‍යයෙකු වූ මුත් පරිගණක විද්‍යාව ඇතුළු ඔහුට රුචි වූ අනෙකුත් ශාස්ත්‍රීය ක්ෂේත්‍ර පිළිබඳ කියැවීමට හා ස්වාධීන අධ්‍යයනයෙහි යෙදීමට කැමැත්තක් දැක්වීය. සැක්සෆෝනය වාදනය කිරීම පිළිබඳ ද ඇකියුටිස් ස්වඅධ්‍යයනය කළේය. පාසලෙන් නිවෙසේදී කළ යුතු ලෙස නියම කළ වැඩ සඳහා උදවු කිරීමට ඔහුට ගුරුවරයෙකු වූ අතර, එම වැඩ කෙළවර වූ විට ඔහු සමඟ දේවස්ථානය වෙත යෑමට ඇකියුටිස් පුරුදු වී සිටියේය.
කාර්ලෝගේම වචනවලට අනුව ඔහු මෙලෙස සටහන් කර ඇත; “අපගේ ඉලක්කය විය යුත්තේ අනන්තය මිස තාවකාලික ලෝකය නොවේ. අනන්තය අපේ නිජ බිමයි. අප සැමවිටම ස්වර්ගීක බලාපොරොත්තුව විය යුතුය” ඔහුගේ තවත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් වූයේ, “සියලු මිනිසුන් උපත ලැබුවේ මුල් පිටපත් ලෙසයි. මෙම ඉලක්කය කරා ගමන් කිරීමට සහ ඡායා පිටපත් ලෙස මිය නොයෑමටයි”.
දැක්ම
කාර්ලෝ පැවසුවේ අපගේ මාලිමා යන්ත්‍රය දේව වචනය විය යුතු බවත්, අප නිරන්තරයෙන් දිශාව මැනිය යුතු බවත් ය. එසේම එවැනි උසස් ඉලක්කයක් කරා ළඟා වීමට විශේෂ පියවර අවශ්‍යය වන බවත්, සක්‍රමේන්තු හා යාච්ඥාවන් ඒ පියවර බවත් ය. විශේෂයෙන් කාර්ලෝ, සත්ප්‍රසාදය පිළිබඳ සක්‍රමේන්තුව ඔහුගේ ජීවිතයේ කේන්ද්‍රයේ ලෙස සැලකූ අතර ඔහු එය හැඳින්වූයේ “ස්වර්ගයට යන මගේ මහා මාර්ගය” ලෙසයි.
කාර්ලෝ පරිගණක ලෝකයට සම්බන්ධ සෑම දෙයකටම ඉතා ත්‍යාගශීලී වූ අතර ඔහුගේ මිතුරන් හා පරිගණක ඉංජිනේරු උපාධි ඇති වැඩිහිටියන් සෑමදෙනාම ඔහු ඉතා දක්ෂයෙකු ලෙස සැලකූහ. සාමාන්‍යයෙන් විශේෂිත විශ්වවිද්‍යාල උපාධි ලබා ඇති අයට පමණක් ප්‍රවේශ විය හැකි පරිගණකවල රහස් තේරුම් ගැනීමට ඔහුට ඇති හැකියාව ගැන සියලු දෙනා මවිතයට පත් වූහ.
කාර්ලෝගේ අභිලාෂයන් අතර පරිගණක වැඩසටහන්කරණය, චිත්‍රපට සංස්කරණය කිරීම, වෙබ් අඩවි නිර්මාණය කිරීම, ප්‍රකාශන සංස්කරණය කිරීම, අවශ්‍යතා ඇති අයට විශේෂයෙන් ළමයින්ට සහ වැඩිහිටියන්ට උපකාර කිරීම ඇතුළත් වේ.
මිලාන් රදගුරු පදවියේ මෙම තරුණ ඇදහිලිවන්තයා ඔහු මිය යෑමට පෙර පාප්තුමා සහ සභාව වෙනුවෙන් සිය දුක් වේදනා ඔප්පු කිරීමට සමත් විය. “සැමවිටම ජේසුස් වහන්සේ සමඟ එක්සත්ව සිටීමට නම් මෙය මගේ ජීවන සැලැස්මයි” යනුවෙන් පවසමින් ඔහු තම වේදනාවන් සියල්ල දරාගෙන ඇත. වරෙක කාර්ලෝ ඇකියුටිස් පැවසුවේ ඔහුගේ කෙටි ජීවිතයේ සුවිශේෂී ලක්ෂණය නම් ජේසුස් වහන්සේ සමඟ ජේසුස් වහන්සේ වෙනුවෙන් ජේසුස් වහන්සේ තුළ ජීවත් වීම බවයි. ඔහුගේම වචනවලින් “මම විනාඩියක්වත් නාස්ති නොකර මගේ ජීවිතය ගත කළ නිසා මිය යෑමට සතුටුයි” යනුවෙන් ද පවසා ඇත. ඔහු අපෙන් ඒ දෙයම අසයි, අපගේ ජීවිත තුළින් ශුභාරංචිය පතුරවන්නැයි ඔහු අපෙන් ඉල්ලා සිටී. එවිට අප සෑම කෙනෙකුම අන් අයගේ ගමන ආලෝකමත් කිරීමට ආලෝකයක් විය හැකිය.