වෛද්‍ය මහේෂි විජේරත්න තවදුරටත් රිමාන්ඩ්

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය ලබන 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අදාළ වෛද්‍යවරියගේ වාට්ටුවේ ලිපිකරු වන කේ.ඉන්දික සහ ඇය විසින් පවත්වාගෙන යනු ලබන ආයතනයේ සේවකයෙකු බව කියන නිමල් රංජිත් මුතුකුඩ යන සැකකරුවන් දෙදෙනා රුපියල් 25000/- ක් බැගින් වූ මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය නියෝග කළා.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ” ස්වාමීනි… සැකකාර වෛද්‍යවරිය නීතිවිරෝධී ලෙස උපයා ගත් මුදල් ඇයගේ නිවසේ සගවා සිටින බවට ලැබුණු තොරතුරකට අනුව ඇය විසින් පදිංචි ලිපිනය ලෙස ලබා දුන් කොළඹ රොස්මිඩ් පාරේ අංක -7 දරන ස්ථානයට නිලධාරීන් කන්ඩායමක් ගියා. එම අවස්ථාවේදී එම නිලධාරීන්ට අනාවරණය වෙලා තිබෙනවා ඒක සැකකාරිය පදිංචි ස්ථානය නොවන බව. එම ස්ථානයේ ආයතනයක් තිබෙන අතර එය සැකකාර වෛද්‍යවරිය විසින් පවත්වාගෙන යන ආයතනයක් බවට අනාවරණය වී තිබෙනවා. පසුව ඇය පදිංචි බව සඳහන් කොළඹ -07 විජේරාම මාවතේ පිහිටි අංක 27 දරන ස්ථානයට ඔවුන් ගොස් පරීක්ෂා කළා. එහිදී සැකකටයුතු කිසිවක් සොයා ගෙන නැහැ. පසුව මේ සැකකාරිය ගේ සත්‍ය පදිංචි ලිපිනය සොයා ගැනීම සඳහා මැතිවරණ කොමිසම හරහා විමර්ශන කළා. එහිදී අනාවරණය වුණා ඇයගේ චන්දය ලියාපදිංචි වි තිබෙන්නේ මීරිගම, ලෝලුවාගොඩ අංක 42 ස්ථානයේ පදිංචි සිටින බවට. ස්වාමීනි..මේ අනුව පැහැදිලි වෙනවා මෙම සැකකාරිය පදිංචිය ලෙස ව්‍යජ ලිපිනයක් තමයි ලබා දී තිබෙන්නේ ” යනුවෙන් සඳහන් කළා.

වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරීයා මෙම විමර්ශනයට අදාළව සැකකාර වෛද්‍යවරිය භාරව කටයුතු කළ ශ්‍රී ජයවර්ධනපුර රෝහල් අංක  වාට්ටුවේ කාර්ය මණ්ඩලයෙන් තව දුරටත් ප්‍රකාශ සටහන් කරමින් විමර්ශන සිදු කරන බවයි.

එම විමර්ශන වලදි  මෙම සැකකාර වෛද්‍යවරිය එමාෆාම් නමැති ආයතනයකින් රුපියල් 55000/- වැනි මුදලකට මිලදී ගන්නා ඊ.වී.ඩී ශල්‍ය අයිතමය 175000/- ක් වැනි ඉහල මිල ගනන් වලට රෝගීන්ට අලෙවි කර තිබෙන බවත් ඊට අදාළ බිල්පත් අල්ලස් කොමිසමට ලැබී තිබෙන බවත් එම නිලධාරියා කියා සිටියා.

සිද්ධියට අදාළ විමර්ශන අවසන් වී නොමැති හෙයින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සැකකාර වෛද්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ” ස්වාමීනි…මේ වෛද්‍යවරිය මේ වනවිට ශල්‍යකර්ම 10000 ක් පමණ සිදු කර තිබෙනවා. ඉන් ශල්‍යකර්ම 8000 ක් පමණ ශ්‍රී ලංකා තුළ සිදු කර තිබෙනවා. තවත් සැත්කම් 2000 ක් පමණ ඇය එංගලන්තයේ සිදු කර තිබෙනවා. එහෙත් ශල්‍යකර්ම වලින් පසුව මියගොස් තිබෙන්නේ රෝගීන් 100 කට වඩා අඩු සංඛ්‍යාවක්. ඒ රෝගීන් පවා ශල්‍යකර්ම නිසා මියගිය අය නොවෙයි.” යනුවෙන් සඳහන් කළා. 

වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා ශ්‍රී ජයවර්ධනපුර රෝහල මගින් සපයන ඇතැම් ශල්‍ය අයිතම භාවිතයට නුසුදුසු මට්ටමක පවතින නිසා ඒවා පිටතින් මිලදී ගැනීමට රෝගීන්ට සිදුවු බව සඳහන් කළා.

 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් උපුටා දක්වමින් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ අධිකරණය පොලීසියට අවශ්‍ය දේ ඉටුකරන රබර් මුද්‍රාවක් බවට පත් නොවිය යුතු බවයි.

ඒ අනුව සැකකාරිය ඇප මත මුදා හරින ලෙසත් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව සෙසු සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ” ස්වාමීනි…මේ නඩුවට ඇප ගන්නවා කියන්නේ හරියට මක්කමේ බෝ ගසක් හොයනවා වගේ වැඩක්. ස්වාමීනි… මීට පෙර දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගන්නා සැකකරුවන් මේ ආකාරයෙන් රිමාන්ඩ් කරන්නේ නෑ. ඒ අවස්ථාවේදීම ඇප දෙනවා. පසුගිය මාස දෙක තුන තුල තමයි මේ වගේ තත්ත්වයක් උද්ගත වෙලා තිබෙන්නේ. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ ප්‍රකාශයක් අරුණ පුවත්පතේ පලකර තිබෙනවා. එහි සඳහන් වෙනවා කැබිනට් තීරණ වලට පවා දූෂණ චෝදනා යටතේ අල්ලස් කොමිසමට කටයුතු කළ හැකි බව. ස්වාමීනි.. පාර්ලිමේන්තුවට සහ කැබිනට් මණ්ඩලයට ජනතා පරමාධිපත්‍යය බලය හිමි වී තිබෙනවා. අල්ලස් කොමිසමට ඒවාට අත් තියන්න හැකියාවක් නෑ. අල්ලස් කොමිසම මහින්ද රාජපක්ෂගේ දිසානායක නමැති ඤාතියෙකුගේ නඩුවක් සති දෙකෙන් ඉවත් කර ගත්තා.” යනුවෙන් චෝදනා කළ අතර සිය සේවාදායකයින් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියා.

නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ඉදිරිපත් කළ ඇතැම් කරුණු මෙම නඩුවට අදාළ නොවන බවට අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණයේ අවධානය යොමු කළ අවස්ථාවේදී දෙපාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුණා.

පසුව මහේස්ත්‍රාත් වරිය මැදිහත් වී එම තත්ත්වය සමනය කළා.

මෙහිදී අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර වෛද්‍යවරියගේ දියනිය ඉකුත් සිකුරාදා කුරුඳුවත්ත පොලිසියට ප්‍රකාශයක් ලබා දුන් බව විත්තියේ නීතිඥවරු සඳහන් කළද එම ප්‍රකාශය ලබාදී තිබෙන්නේ ඉරිදා දිනයේ බවත් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අවධානය යොමු කර තිබෙන බව පැවසුවා. 

එම ප්‍රකාශයට දැඩි විරෝධය පළ කර සිටි  විත්තිය වෙනුවෙන් පෙනී සිට නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සැකකාරියගේ දියණිය විසින් එම ප්‍රකාශය සිදු කරනු ලැබුවේ ඉකුත් සිකුරාදා බව  සඳහන් කළා.

අල්ලස් කොමිසම විසින් අධිකරණය නොමග යවන ආකාරය සිදු කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. 

ඒ අනුව මෙම කරුණු සම්බන්ධයෙන් විමසීම සඳහා කුරුඳු වත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයාට මීලඟ නඩු දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් මහේස්ත්‍රාත් වරිය නියම කළා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් වරිය සැකකාර වෛද්‍යවරිය තවදුරටත් රක්ෂිත බන්දනාගාරගත කිරීමට නියෝග කරමින් සෙසු සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට නියම කළා. 

මෙම නියෝගය ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අමතමින්  සේවා දායිකාවට ඇප ප්‍රතික්ෂේප කිරීමට පදනම් වූ හේතු කුමක්දැයි විමසා සිටියා. 

එම අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ  සිද්ධියට අදාළව තවදුරටත් සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවන හෙයින් මෙම අවස්ථාවේදී සැකකාරිය ඇප මත මුදාහරිනු ලැබුවොත් විමර්ශන වලට බාධා සිදුවීමට ඉඩකඩ ඇති නිසා ඇයගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.