
අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ පූද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ ශාන් යහම්පත් ගුණරත්න නමැත්තා ඇප මත මුදා හරින ලෙස
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කළා.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළා
අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මානව සම්පත් නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු සඳහා සුදුසු සමාගමක් තෝරාගැනීම වෙනුවෙන් 2023 වසරේ සැප්තැම්බර් මස 25 වන දා පුවත්පත් දැන්වීම් පළ කෙරුණු බවයි.
ඒ යටතේ සමාගම් තුනක් ඉදිරිපත් කළ අතර ඊට ජේ.එෆ්.එස්. holdings පුද්ගලික සමාගම විසින්ද අයදුම්පත් ඉදිරිපත් කර තිබේ.
එහෙත් එම සමාගම තෝරාගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
ඉන් පසුව අදාල ටෙන්ඩරය මෙම සමාගමට පැවරීම සඳහා මෙම සැකකරු විසින් පුහුණු කරනු ලබන එක් නිලධාරියෙකු වෙනුවෙන් රුපියල් 4000/- ක මුදලක් එම සමාගමේ හිමිකරුගෙන් ඉල්ලා තිබෙන බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ඊට අමතරව එම සමාගමේ හිමිකරු වූ අසංක ඉන්ද්‍රජිත් මදුශාන් නැමැත්තාගෙන් සැකකරු විසින් රුපියල් මිලියනයක මුදලක් ද ඉන් පසුව රුපියල් ලක්ෂ 20 ක මුදලක් සහ ස්විස්ටර්ලන්තයට පිටත්ව යාම සඳහා “business class”ගුවන් ටිකට් පතක් ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ අටක මුදලක් ද ලබාගෙන තිබෙන බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සහකාර අධ්‍යක්ෂ ජනරාල් වරිය අධිකරණයට දැනුම් දුන්නා.
මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදු කෙරෙන අතර සාක්ෂිකරුවන් ගණනාවකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබෙන බවයි ඇය සඳහන් කර සිටියේ.
මෙම සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බවත් ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම ඉල්ලීම් කලත් ඊට අදාළ සහතිකය අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව සඳහන් කළා.
මෙම සැකකරු විෂය භාර අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් පමණක් කටයුතු කර ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඔහු කිසිදු අවස්ථාවක විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රාජකාරී කර නොමැති බවත් ඔහු පැවසුවා.
එසේම අදාල ටෙන්ඩරේ පිරිනැමීමේ ටෙන්ඩර් මණ්ඩලයේද ඔහු සාමාජිකයකු වශයෙන් කටයුතු කර නොමැති බවත් අල්ලස් කොමිසම ඉදිරිපත් කරන කරුණු පදනම් විරහිත එබැවින් සැකකරුවන් ඇප මත මුදා හරින ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
කෙසේ වෙතත් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේ මෙම සැකකරු විසින් අසංක ඉන්ද්‍රජිත් නමැත්තාගෙන් රුපියල් ලක්ෂ හතළිස් තුනක මුදලක් ලබාගෙන තිබෙන බවට සාක්ෂි වලින් කරුණු අනාවරණය වී ඇති බවයි.
ඉන් ලක්ෂ 18 ක් මෙම සැකකරු විසින් ලබාගෙන තිබෙන ආකාරය බැංකු වාර්තා ඔස්සේ තහවුරු වී ඇති බවත් සෙසු මුදල් ප්‍රමාණය ද හුවමාර වූ ආකාරය ගැන කරුණු තහවුරු කිරීමට විමර්ශන සිදු කරන බවත් ඔහු සඳහන් කර සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරිමට තීරණය කළ අතර මෙම නඩුකරය නැවත සැප්තැම්බර් මස 16 වන දා කැඳවීමටද දින නියම කලා.