ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයින්ගේ ලේඛනයේ දෙවැනි ස්ථානයට පැමිණීමට ඊයේ දිනයේ එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් සමත්වුණා. ඒ ඉන්දියාව සමග පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදි. ඉන්දියාව සහ එංගලන්තය අතර සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මැන්චෙස්ටර් හිදි පැවැත්වෙනවා. එහි පළමු ඉනිමට ඉන්දිය කණ්ඩායම ලකුණු 358 ක් රැස්කළා.
තරගය ඊයේ තුන්වැනි දිනට ආරම්භ කරන විට එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 2 ක් දැවී ලකුණු 225 ක් ලබා සිටියා. ඒ වනවිට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ජෝ රූට් ඊයේ තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 38 වැනි ශතකය ලබා ගැනීමටද සමත් වුණා. ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 150 ක්. එම ලකුණු සංඛ්‍යාවත් සමග ජෝ රූට් ලොව වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ ක්‍රීඩකයින්ගේ ලේඛනයේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා.
ඒ අනුව ඔහු ඉන්දියාවේ රාහුල් ද්‍රාවිඩ්, දකුණු අප්‍රිකාවේ ජාක් කලීස් සහ ඔස්ට්‍රේලියාවේ රිකී පොන්ටින් පසුකර යාමට සමත් වුණා. මේ වනවිට ජෝ රූට් රැස්කරගෙන ඇති සමස්ත ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 13,409 ක්. ඔහු පසුපසින් සිටින්නේ ඉන්දියාවේ සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ට පමණයි. තෙන්ඩුල්කාර් ටෙස්ට් ලකුණු 15,921 ක් රැස් කරගෙන තිබෙනවා. ඉන්දියාව සහ එංගලන්තය අතර සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අවසන් වනවිට එංගලන්ත ක්‍රීඩකයින් සිය පළමු ඉනිමට කඩුලු 7 ක් දැවී ලකුණු 544 ක් ලබාසිටියා.
