
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුව සහ නීතිඥ දිනේෂ් දොඩංගොඩ මහත්වරු ගමන් කළ ජීප් රියට යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා එහි තිබූ ලිපි ගොනුවක් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධව කළ විමර්ශනයේ දී හෙළි වූ කරුණ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටී. තුසිත හල්ලොලුව මහතා රැඳී සිටින ස්ථාන සහ ඔහු ගැවසෙන තැන් පවා කොළඹ අපරාධ කොට්ඨාසයේ පරීක්ෂාවට ලක්ව තිබේ.මේ වන විට තුසිත හල්ලොලුව මහතා උන්හිටිතැන්වලින් අතුරුදන්ව සැඟව සිටින බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
තුසිත හල්ලොලුව සහ දිනේෂ් දොඩංගොඩ මහත්වරු ගමන් කරමින් සිටි ජීප් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ලවන්නේ පසුගිය මැයි 17 වැනිදා රාත්‍රී කාලයේදීය. නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ දී මෙම වෙඩි ප්‍රහාරය එල්ලවන්නේ ඔහු රටේ ප්‍රසිද්ධ ජනාධිපති නීතිඥවරයෙක් හමුවීමට ගොස් පැමිණෙමින් සිටියදීය.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළ බව කියැවිණි. මේ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන පවත්වා වෙඩික්කරු, යතුරුපැදිකරු ඇතුළු මෙම වෙඩි ප්‍රහාරයට ආධාර හා අනුබල දුන් කිහිප දෙදෙනකුම අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම වෙඩි තැබීම ජීවිත හානියක් සිදු කිරීමේ අපේක්ෂාවෙන් කළ එකක් නොවන බවත් මෙම වෙඩි තැබීම සැලසුම් සහගත නාටකයක් බවත් කොළඹ අපරාධ කොට්ඨාසය සිය විමර්ශනයේ දී හෙළිකරගෙන තිබිණි. ඒ බව තහවුරු කිරීමට පරිවේශනීය සාක්ෂි මෙන්ම විද්‍යාත්මක සාක්ෂි ද රැස්කරගෙන ඇති කොළඹ අපරාධ කොට්ඨාසය තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගැනීමට සොයනු ලබන්නේ ඒ අනුවය.