ට්‍රම්ප්, පුටින් හමුවක් ?

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර, සාකච්ඡා අද ඇලෙස්කාවේදි පැවැත්වීමට නියමිතයි.

රුසියාව සහ යුක්‍රේනය අතර, අර්බුදය පිළිබඳව අවසන් විසඳුමකට එළඹීම එම සාකච්ඡාවල අපේක්ෂාවයි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තමා සමඟ ගිවිසුමකට එළඹීමට කැමැත්තෙන් පසුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

නායකයින් දෙපල අතර වසර 6කට පසු සිදුවන පළමු හමුව මෙයයි.

මීට පෙර ඔවුන් අතර හමුවක් සිදුව ඇත්තේ 2017 වසරේ ජී 20 නායක සමුළුවේදියි.

රුසියානු ජනාධිපතිවරයා සමඟ අද පැවැත්වෙන සාකච්ඡාව දෙවන හමුවකට මගපාදනු ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටිනවා.

මෙම හමුවේදි යුක්‍රේන නායක ව්ලොදමීර් සෙලෙන්ස්කි සාකච්ඡාවලට සහභාගි නොවන අතර ඔහු නොමැති විට ගන්නා ඕනෑම යෝජනාවක් අර්ථ විරහිත වනු ඇති බවටයි ප්‍රකාශ කර ඇත්තේ.

සාකච්ඡාවලින් අනතුරුව ඉදිරියේදි පැවැත්වෙන දෙවන හමුව සඳහා රටවල් ත්‍රිත්වයම සහභාගි වනු ඇති බව ජනාධිපති ට්‍රම්ප් සඳහන් කරනවා.

රුසියානු යුද්ධය අවසන් කිරීමට ජනාධිපති ව්ලැදිමීර් පුටින් එකඟ නොවන්නේ නම් රුසියාවට ඉතා දරුණු ප්‍රතිවිපාක වලට මුහුණදීමට සිදුවනු ඇති බවට අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබෙනවා.

ඔහු ඊයේ කියා සිටියේ රුසියාව සමග අද පැවැත්වෙන සාකච්ඡා සාර්ථක නොවුණහොත් එරටට මෙන්ම ඉන්දියාවටද සම්බාධක පැනවීමට සිදුවනු ඇති බවයි.