කෘතිම බුද්ධියේ මීළඟ පිම්ම

අප ජීවත්වන යුගය තාක්ෂණය තුළින් නව විප්ලවයකට පැමිණ ඇත. කෘත්‍රිම බුද්ධිය, බිග් ඩේටා, ගැඹුරු ඉගෙනුම් (Deep Learning) වැනි සංකීර්ණ සංකල්ප දැන් දෛනික ජීවිතයට ඇතුළුවී තිබේ. මෙම තාක්ෂණික පරිණාමය තුළ වැඩිම කතාබහට ලක්වී ඇති දෙයක් වන්නේ විශාල භාෂා මොඩල (Large Language Models – LLMs) නම් කෘත්‍රිම බුද්ධි පද්ධති ය.

විශාල භාෂා මොඩල යනු, බිලියන ගණනක වචන සහ වාක්‍යයන් ඇතුළත් විශාල පෙළ දත්ත මත පුහුණු කරන ලද, භාෂා හැසිරීම් රටා වටහා ගනිමින් විශාල තොරතුරු මත විචාරශීලීව ප්‍රතිචාර දක්වන කෘතිම බුද්ධි පද්ධතියකි. ChatGPT, Claude, Gemini වැනි නාමයන් මඟින් දැන් හඳුනාගන්නා මෙම මොඩල, තනිවම ලිපියක් ලියන්න, ගණිත ගැටලු විසඳන්න, ව්‍යාපාර සැලසුම් දක්වන්න, එසේත් නැතිනම් මිනිස් මනෝභාවයන්ට ගැළපෙන පරිදි සංවාදයක නිරත වන්නද හැකියාවක් ඇත.

විශාල භාෂා මොඩලයක් ක්‍රියාත්මක වන්නේ කෙටි කටපාඩම් මත නොවයි. වඩාත්ම සංකීර්ණ ගණිතමය ගැඹුරු ඉගෙනුම් ආකෘති ඔස්සේ, වචන සහ වාක්‍ය අතර ඇති සංකේතමය සබඳතා සොයාගෙන ඒවා මත පදනම්ව අනාගත වචන හෝ අදහස් අනුමාන කිරීම මගින් ය. මෙය සිදු වන්නේ ව්‍යාකරණය, අර්ථය, පද රටා, සහ භාෂා භාවිතයේ ආකාර වැනි ලක්ෂණ අරමුණු කරගනිමින් ය.

වචනය යනු සංකේතයක් බවට පත්ව ඇති අතර, LLM තාක්ෂණය එම සංකේත විශ්ලේෂණය කරමින් මිනිසාට සමාන ලෙස නිරූපණයක් ගොඩනඟයි. මෙවැනි මොඩලයන්ට භාෂාව අවබෝධ කර ගැනීමක් තිබුණද, ඒවාට ‘දැනුම’ හෝ ‘සංකල්ප’ තියෙනවා කියා පවසන්නට නොහැකි ය.  ඒවා දත්ත මත පදනම්ව සාදාගන්නා සංඛ්‍යාත්මක ආකෘති පමණි.

කෙසේ වෙතත් අද අප මේ සමඟ දකින විශාල ගැටලුවක් වන්නේ ශිෂ්‍යයින් සිය පැවරුම් වැනි දෑ ඉතා පහසුවෙන්  කෘතිම බුද්ධිය ලවා කරවා ගැනීමයි. මෙහිදී දරුවන්ගේ අධ්‍යාපන හැකියාවන් මොට වීමටද නිර්මාණශීලීත්වය අහිමි වීමට හැකි බව බොහෝ දෙනා විස්සෝපයට පත්ව සිටී. දැනටමත් රැකියා වෙ‍ෙළඳපොළ මේ නිසාම බොහෝ ගැටලුවලට මුහුණ දී සිටී. සමහර රැකියා අවස්ථා දැනටමත් නැති වී ඇති අතර තවත් රැකියා අවස්ථා නැති වීමට ඉඩ ඇති බව පෙනී යයි.

ඇත්තෙන්ම මෙවැනි විශාල භාෂා මොඩල නිසා සමාජ අර්බුදයකට අප යෑමට ඉඩ ඇතිද? විශාල භාෂා මොඩලයක් යනු කටපාඩම් අධ්‍යාපන මොඩලයේ විශාල මුහුණුවරකි. මෙම පද්ධති පුහුණු කර නොඑසේනම් ගොඩ නඟා  ඇත්තේ භාෂාව භාවිතා කරමිනි.  වචන යනු සංකේත ය.  කටපාඩම් කිරීමෙන් අප කරන්නේ මේ සංකේත මතකයේ ගබඩා කරගෙන ප්‍රශ්නයක් අසන විට ඊට අදාළ වචන තෝරාගෙන ඒවායෙන් පිළිතුර ගැට ගැසීමකි. LLM හෙවත් විශාල භාෂා මොඩලවලින් කරන්නේද මෙවැනි කාර්යයකි. නමුත් අපට කටපාඩම් කර මතක තබා ගත හැකි දත්ත නොහොත් වචන ප්‍රමාණයට වඩා බිලියන ගුණයකින් වචන ගබඩා කිරීමට කෘතිම බුද්ධියට හැකි ය.  එනිසා කටපාඩම් කරන අධ්‍යාපන ක්‍රමයක් හරහා විශාල භාෂා මොඩලවලට අභියෝග කළ හැකි විද්‍යාර්ථීන් ගොඩනැඟිය  නොහැකි ය.

කෘතිම බුද්ධියට තනිව සිතීමට නොහැකි මේ යුගයේ ඉන් හොඳින්ම වැඩ ගැනීමට හැක්කේ වඩාත්ම හොඳින් ඒ සමඟ සන්නිවේදනය කිරීමට හැකි භාෂා ඔත්තු සහ ප්‍රශ්න සපයන්නට හැකි පුද්ගලයින්ට ය. මෙය prompt engineering ලෙස හඳුන්වන අතර ලබාදෙන උපදෙසේ හෙවත් ඔත්තුවේ තරමට අපට ලැබෙන පිළිතුරේ ගුණාත්මකභාවය තීරණය වේ. දැනට බොහෝ පිරිස් උත්සාහ කරන්නේ මෙය කාර්‍යක්ෂමව කිරීමට ය. නමුත් කෘතිම බුද්ධියේ වේගවත් වර්ධනයත් සමඟ වැඩිකාලයක් යන්නට මත්තෙන් එය prompt engineering වලින් එහාට ගොස් ස්ව-පාලිත තත්ත්වයකට යනු ඇත. අවුරුද්දක් දෙකක් ඇතුළත කෘතිම බුද්ධිය ඇතුළු තාක්ෂණයේ සිදුවූ වෙනස පිළිබඳ සිතන විට රටක අධ්‍යාපනය, රැකියා වෙළෙඳපොළ , ආර්ථිකය, ජන ජීවිතය හෝ වෙනත් ඕනෑම මාතෘකාවක් පිළිබඳ කතාවේදී තාක්ෂණය සහ ඉන් එදිනෙදා ජීවිතයට පවා වන බලපෑම අපට අමතක කළ නොහැකි ය.

කටපාඩම් අධ්‍යාපන ක්‍රමය තුළින් අප මෙතෙක් කළ හැම දේම අපට වඩා මිලියන  ගුණයක් ඉක්මනින් සහ වේගයෙන් කළ හැකි විශාල භාෂා මොඩල අප සැම ඉදිරියේ දැන් තිබේ. ඒවාට කළ  හැකි දේ ඉතා වේගයෙන් වැඩි වෙමින් තිබේ. එසේ නම් අධ්‍යාපන ක්‍රමය දත්ත මතක තබා ගන්නා සංකේත පුහුණු ක්‍රමයක් නොවී නිර්මාණශීලී සහ විචක්ෂණශීලී වැඩිහිටියෙකු බිහි කරන ක්‍රමයක් විය යුතුය. එසේම මානව ගුණධර්ම සහ ප්‍රජා මූලිකත්වය ඇති පුද්ගලයෙකු බිහි කිරීමටද එයට හැකි විය යුතුය. වෘත්තීය කුසලතා පමණක් නොව ජීවන කුසලතා සහ දෑතේ වැඩ ඉගෙනීම විශාල භාෂා මොඩල වැනි කෘතිම බුද්ධි පද්ධතිවලින් දැනුම සහ රැකියා වෙළෙඳපොළ  පාලනය කෙරෙන කාලයක සිසුන් පුහුණු කිරීමට හැකි ලෙස ලොව පුරා අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය වීමට කාලය එළඹී තිබේ.

ඕනෑම තාක්ෂණයක් හෝ නව වෙනසක් ඩිස්ටෝපියානු අනාගතයක් උදෙසා පාර කපනවාද නැත්නම් යුතෝපියාවක් නිර්මාණය කිරීමට අත්වැල් සපයනවාද යන්න තීරණය කිරීමට මිනිසාට ඇති තීරණාත්මක හැකියාව මිනිසා කෘතිම බුද්ධියෙන් වෙන් කරන වැදගත් ලක්ෂණයකි. ඩිස්ටෝපියාව යනු මිනිසුන් පීඩා විදින සමාජයක් වන අතර යුතෝපියාව යනු සියල්ලෙන් සශ්‍රික යහපත් අනාගතයකි. කෘත්‍රිම බුද්ධිය යනු, අප වෙනුවෙන් දත්ත මතක තබාගැනීම, එම දත්ත සංවිධානය කිරීම, සහ අවශ්‍ය අවස්ථා වලදී නිවැරදිව ඒවා භාවිත කිරීම සඳහා හැකියාවක් ඇති මිනිසා විසින් නිර්මාණය කළ යාන්ත්‍රික පද්ධතියකි.

එම පද්ධතිය, මිනිසා විසින් වසර ගණනාවක් පුරා ව්‍යවස්ථාගත කළ සංකේත, භාෂාවන්, රටා, හා නීති පදනම් කරගෙන ක්‍රියා කරයි.එබැවින්, කෘත්‍රිම බුද්ධිය අප වෙනුවෙන් දැනුම තබාගෙන, තීරණ ගැනීමේදී සහය දක්වන නමුත්, නව දැනුමක් නිර්මාණය කිරීම, නව අදහස් දියුණු කිරීම, නව කතිකාවක් ගොඩනඟා වඩා උසස් බුද්ධිමත් සංවාදයකට තල්ලු වීම යන වගකීම මිනිසාගේම වගකීමක් වී පවතී. තාක්ෂණය අපට පසුබැසී සිටීමට නොව, ඉදිරියට යාමට සහ නිර්මාණශීලීව සිතීමට ඉඩක් සපයන මෙවලමක් විය යුතුය. ඒ නිසාම, තොරතුරු ව්‍යාපෘතිකරණය කෘතිම බුද්ධිය මත භාරවූ ද, මිනිසාගේ ප්‍රධාන භූමිකාව වනුයේ නව සංකල්ප මතුකිරීම, විචක්ෂණශීලී සිතිවිලි වර්ධනය කිරීම, සහ සමාජයට වඩා හොඳ අනාගතයක් ගොඩනඟා ගැනීමයි.