හොර පාරෙන් ගෙනා සිගරැට්-විස්කි අම්බලන්තොටින් අත්අඩංගුවට

අම්බලන්තොට ප්‍රදේශයේ නිවෙසක අලෙවි කිරීම සඳහා සඟවා තිබූ නීති විරෝධිව මෙරටට හොර රහසේ ගෙන ආ බදු නොගෙවන ලද සිගරැට් දසදහසක් හා බලපත්‍රයක් නොමැතිව ළඟ තබා ගත් විදේශීය මත්පැන් බෝතල් 45ක් දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මඟින් ඉකුත් 19 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සමඟම මේ සම්බන්ධ එම නිවෙස් හිමියා ද සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය භාරයට ගෙන ඇත.

මෙම ඒකකයට ලද තොරතුරක් මත එම නිවෙස වැටලූ අවස්ථාවේ එහි තිබී එම සිගරැට් හා විදේශ මත්පැන් ලීටරයේ බෝතල් 45ක් සොයාගැනීමට හැකිවී තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගත් එම සැකකරුට රුපියල් එකොළොස් ලක්ෂ විසිපන් දහසක දඩ මුදලක් නියම කළ බව එම සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සඳහන් කෙළේය.

වැටලීමට සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ හා සුරාබදු අධිකාරි පී.ඒ. සුනිල් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිරෝෂ් ජයකොඩි මහතාගේ උපදෙස් අනුව සුරාබදු පරීක්ෂක කසුන් ජයසුමන, සුරාබදු නියාමකවරුන් වන නිශ්ශංක, ජීවන්ත, චානුක, සුරාබදු රියැදුරන් වන සුපුන් හා දුමින්ද යන නිලධාරීහු එක් වී සිටියහ.