තැපෑලේ වර්ජනය අවසන්

දින හතක් පුරා පැවති තැපැල් සේවක වර්ජනය ඊයේ (අගෝ. 24) සවස සිට අවසන් කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, තැපැල්පති රුවන් සත්කුමාර සහ තැපැල් වෘත්තීය සමිති අතර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹි බව ද හෙතෙම සඳහන් කළේ ය.

වෘත්තීය සමිතිවල ඉල්ලීම් 19න් 17ක් මාසයක් ඇතුළත විසඳන බවට ඇමතිවරයාගෙන් සහ තැපැල් පරිපාලනයෙන් ලිඛිත පොරොන්දුවක් ලැබී ඇතැයි සම කැඳවුම්කරු ප්‍රකාශ කළේය.

එහෙත් වෘත්තීය සමිති ඉල්ලා සිටි ඇඟිලි සලකුණු යන්ත්‍ර සහ අතිකාල දීමනා ගැටලු විසඳීමට ඇමතිවරයාගේ එකඟතාව නොලැබුණු බවද ඔහු කීවේය.

ඇඟිලි සලකුණු යන්ත්‍ර සහ අතිකාල දීමනා සම්බන්ධයෙන් පවතින නීතිය හා ඉදිරියේදී ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තැපැල් පරිපාලනය සමග තවදුරටත් සාකච්ඡා කරන බවද චින්තක බණ්ඩාර පැවසීය.

තැපැල් වෘත්තීය සමිති පසුගිය 17 වැනිදා සවස 4:00ට ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය ඇමතිවරයා සහ තැපැල් පරිපාලනය සමඟ ඇති කරගත් එකඟතා මත අවසන් කළ බව කී හෙතෙම සුපුරුදු පරිදි සියලු තැපැල් සේවකයන් අද දින සේවයට වාර්තා කරන බව සඳහන් කළේ ය.