ඊශ්‍රායලය ගාසා නගරයට පහරදෙයි

ඊශ්‍රායලය ගාසා නගරයට නොකඩවා ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අගෝස්තු 6 වන දින නගරය ආක්‍රමණය කිරීම ආරම්භ කළ දා සිට ඊශ්‍රායලය ගාසා නගරයේ සයිටවුන් සහ සබ්‍රා අසල්වැසි ප්‍රදේශවල ගොඩනැගිලි 1,000 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

පලස්තීන සිවිල් ආරක්ෂක අංශය පවසන්නේ සිය ගණනක් පිරිස් සුන්බුන් යට සිර වී සිටින බවයි.

නිවේදනයක් නිකුත් කරමින් පලස්තීන සිවිල් ආරක්ෂක අංශ පැවසුවේ අඛණ්ඩ ෂෙල් වෙඩි ප්‍රහාර සහ අවහිර කරන ලද ප්‍රවේශ මාර්ග ප්‍රදේශයේ බොහෝ ගලවා ගැනීමේ සහ ආධාර මෙහෙයුම් වලට බාධා කරන බවයි.

හදිසි සේවකයින්ට අතුරුදහන් වූවන් පිළිබඳ වාර්තා රාශියක් ලැබෙමින් පවතින නමුත් ප්‍රතිචාර දැක්වීමට නොහැකි වී ඇති බවයි ඔවුන් කියා සිටින්නේ.

ඊයේ එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 51 දෙනෙකු මිය ගිය බවයි විදෙස් මාධ්‍ය පවසනවා.

ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ සාගතය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ තවත් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් ඇති බවයි.

යුද්ධය ආරම්භ වූ දා සිට දරුවන් 115 දෙනෙකු ඇතුළුව මන්දපෝෂණයෙන් වූ මරණ සංඛ්‍යාව 289 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා පෙන්වා දෙන්නේ.