අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ අභිනව අනුනායක පදවිය සඳහා පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් තේරී පත්ව තිබෙනවා.
උන්වහන්සේ අස්ගිරි විහාර පාර්ශ්වයේ 34 වැනි අනුනාහිමියන් වනවා.
පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් අපවත්වීමෙන් පුරාප්පාඩු වූ අනුනායක ධුරය සඳහා නිලවරණය අද පස්වරුවේ පැවැත්වුණේ, අස්ගිරි මහා විහාරයීය උපෝසතාගාරයේදී.
අස්ගිරි පාර්ශ්වයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් නිලවරණය පැවැත්වුණා.
ඒ සඳහා අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ වින්සත්වර්ගික කාරක මහා සංඝ සභාව නියෝජනය කරන මහා සංඝරත්නය වැඩම කර සිටියා.
අභිනව අනුනාහිමියන් ලෙස පත්වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් පැවිදි දිවියට ඇතුළත් වුණේ, 1981 වසරේදී.
අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ධුරයේ කටයුතු කළ උන්වහන්සේ, අස්ගිරි මහ පිරිවෙනේ පරිවේනාධිපති ධුරයද හෙබවූවා.
පල්ලෙකැලේ නාලන්ද බෞද්ධ විද්‍යාලයේ අධ්යක්ෂ ධුරය හෙබවූ උන්වහන්සේ ශ්‍රී දළදා වහන්සේගේ තේවාව බාරව වාර ගණනාවක් කටයුතු කර තිබෙනවා.
