ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ගෙන්වා රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක පාඩුවක් සිදු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ලසන්ත ගම්මන්පිල මහතා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළා.
ඒ අනුව සැකකරු රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඇපකරුවන් පස්දෙනාගෙන් තුන්දෙනෙකු ළඟම ඥාතීන් විය යුතු බවටත් නියෝග කළා.
ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝගයක් කරනවා ලැබුවා.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නෞකාවක් චීන සමාගමකින් ආනයනය කිරීම සඳහා කටයුතු කිරීමෙන් රජයට ඇමරිකානු ඩොලර් මිලියන 6.9 ක පාඩුවක් සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ විමර්ශන වලට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව සඳහන් කළා.
රජයේ පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම මාර්ගයෙන් එම පොහොර තොග මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති බවත් ඒවා ගෙන්වීමට අවශ්‍ය බැංකු ණයවර ලිපි විවෘත කරන ලෙස මෙම සැකකරු විසින් අදාල පොහොර සමාගම්වල සභාපතිවරුන්ට බලපෑම් කර තිබෙන බවත් එම නිලධාරියා පැවසුවා.
මෙසේ ආනයනය කළ පොහොර සාම්පල වලින් පරිසරයට අහිතකර ජීවීන් සිටින බවට ශාක නිරෝධායන ආයතනය මගින් දැනුම් දී තිබීම හේතුවෙන් එම පොහොර තොග මිලදී ගැනීමට විවෘත කළ බැංකු ණයවර ලිපි අත්හිටුවීමට එම පොහොර සමාගම්වල සභාපතිවරු කටයුතු කළ බවත් අල්ලස් කොමිසමේ නිලධාරියා පැවසුවා.
එහෙත් 2021 වසරේ සැප්තැම්බර් 16 වනදා කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති රැස්වීමකදී මෙම සැකකරු ලංකා පොහොර සමාගමේ සභාපති ජනක් ශ්‍රී විධානගේ මහතාට බලපෑම් කරමින් ” ගොවීන්ට වෙලාවට පොහොර දෙන්න අවශ්‍යයි. බැරිවෙලාවත් පොහොර හිඟයක් ආවොත් ඔයා වගකියන්න ඕනා” යනුවෙන් බලපෑම් කර ඇති බව හිටපු සභාපතිවරයා ලබාදුන් ප්‍රකාශයේ සඳහන්ව තිබෙන බව අල්ලස් කොමිසමේ නිලධාරියා පැවසුවා.
මෙම ක්‍රියාව හරහා සැකකරු රුපියල් කෝටි ගණනක මහජන මුදල් අපතේ යැවීමට ක්‍රියා කර ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොමර්ෂල් පොහොර සමාගමේ සභාපතිවරයාගෙන්ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍යව තිබෙන බව නිලධාරියා කියා සිටියා
ඉන් අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2019 වසරේ පැවති ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා තම පාලන කාලය තුළ කාබනික පොහොර ප්‍රවර්ධනය කරන බවට ජනතාවට පොරොන්දුවක් ලබා දුන් බව සඳහන් කළා.
ඉන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් පත්වීමෙන් අනතුරුව කාබනික පොහොර ක්‍රියාවට නැංවීමට අදාලව යෝජනා 20 කින් යුත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඔහුගේ අත්සනින් යුතුව ඉදිරිපත් කළ අතර ඊට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.
ඉන් අනතුරුව එවක කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කාබනික පොහොර ආනයනය කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළා.
ඉන් අනතුරුව එම කටයුතු මෙහෙයවීම සඳහා කැබිනට් තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කෙරුණු අතර එම කමිටුවේ කැඳවුම්කරු වශයෙන් මෙම සැකකරු ක්‍රියා කළ බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.
ඉන් අනතුරුව චීන සමාගමෙන් කාබනික පොහොර මිලදී ගැනීමට අදාල ණයවර ලිපි විවෘත කිරීමට පියවර ගත් අතර ඉන් පසුව කාබනික පොහොර අඩංගු නැවක් එක් වරම දිවයිනට පැමිණි බවත් ඔහු සඳහන් කළා.
එම නෞකාවේ අන්තර්ගත පොහොර සාම්පල පරිසරයට අහිතකර ශුද්‍ර ජීවීන් සිටින බවට ශාක නිරෝධායන අංශය විසින් වාර්තාවක් ඉදිරිපත් කිරීම නිසා එය බාර ගැනීම සම්බන්ධයෙන් ගැටලූ මතුවූ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.
ඉන් පසුව ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩු දෙකක් ගොනුකරමින් අදාල ණයවර ලිපි ක්‍රියාත්මක වීම වළක්වාලමින් මහජන බැංකුව වෙත තහනම් නියෝග ලබා ගත් බව සඳහන් කළා.
ඉන් පසුව චීන තානාපති කාර්යාලයද මෙම ක්‍රියාවලියට මැදිහත් වූ අතර ඒ සමගම මෙම ගැටළුව රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත්වු බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
එම අවස්ථාවේ රටේ ආර්ථික අර්බුදයක් උද්ගත වෙමින් පැවති අතර ඊට මුහුණ දීම සඳහා යුආන් බිලියනයක ණයක් ලබාදීමට චීනය එකඟතාව පළ කර තිබුණද මෙම ප්රශ්නය හේතුවෙන් එම ණය අත්හිටුවන බවට චීනය විසින් අනතුරු අඟවා සිටි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
අදාල චීන පොහොර නෞකාව සඳහා මුදල් නිකුත් කිරීම සිදුවූයේ රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක ප්‍රතිඵලයක් ලෙස යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඊට තම සේවා දායකයා කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවූ බවත් කියා සිටියා.
තම සේවා දායකයා කටයුතු කළේ අමාත්‍ය මණ්ඩල තාක්ෂණික ඇගයීම් කමිටුවේ කැඳවුම්කරු වශයෙන් කටයුතු කිරීම මිස එම කමිටුව විසින් ගනු ලැබූ තීන්දු ඔහුගේ තනි තීන්දු නොවන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
එම නිසා මෙම සැකකරු අත්අඩංගුවට ගන්නේ නම් ඊට අනුමැතිය ලබාදුන් ඇමතිවරුද අත්අඩංගුවට ගත යුතු බවත් ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා ප්‍රකාශ කළා.
එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් සඳහන් කළේ මෙම සිද්ධියට සම්බන්ධ ඇමතිවරුද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රත්වරිය අදාළ සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළ අතර පැමිණිල්ල නැවත ජූලි මස 11 වන දා කැඳවන ලෙසත් නියෝග කළා.
