
ඉකුත්දා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද බැකෝ සමන් නමත්තාගේ බිරිඳ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ එම සැකකාරිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළ සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
ශාධිකා ලක්ෂානි නමැති මෙම සැකකාරිය දැඩි ආරක්ෂක විධිවිධාන මැද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම මහතා හමුවට පමුණුවනු ලැබුවා.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත්දා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගන්නා ලද පාතාල කල්ලි නායකයින් පස් දෙනා අතර සිටි බැකෝ සමන් නැමැත්තගේ බිරිඳ ලෙස මෙම සැකකාරිය හඳුනාගෙන තිබෙන බව පැවසුවා.
පසුව මෙම සැකකාරිය රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කළ බවත් පොලිසිය සඳහන් කර සිටියා.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම සැකකාරියට එල්ල වන චෝදනා කවරේදැයි ප්‍රශ්න කලා.
ඊට පිළිතුරු දෙමින් පොලිසිය පැවසුවේ මෙම සැකකාරිය පිළිබඳව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදු කරන බවයි.
මෙම සැකකාරියගේ සැමියා වන බැකෝ සමන් නැමැත්තා මිද්දෙණිය ප්‍රදේශයේ සිදුවූ දරුවන් දෙදෙනෙකු සහ පියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී ඇති බවට සැක කරන කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය සඳහන් කළා.
එම ඝාතනයට මෙම සැකකාරියගේ සම්බන්ධයක් තිබේදැයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමසුවා.
ඊට පිළිතුර දෙමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කර සිටියේ එම අපරාධයට මෙම සැකකාරිය සම්බන්ධ දැයි සොයා බැලීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරන බවයි
මෙම සැකකාරිය සන්තකයේ තිබී පවුම් 40 ක් පමණ බරැති රන් ආලේපිත භාණ්ඩ සොයා ගත් බව පොලිසිය පැවසුවා.
ඒවා සත්‍ය වශයෙන් රන් භාණ්ඩ දැයි පරීක්ෂා කිරීම සඳහා ඒවා රාජ්‍ය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝග නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඊට අමතරව මෙම සැකකාරිය සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් වී නොමැති එයින් ඇය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
ඉන් අනතුරුව මෙම සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කලේ සිය සේවාදායිකාව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඇය “බැකෝ සමන්” නමැත්තාගේ බිරිඳ වීම නිසා පමණක් බව සඳහන් කළා.
මෙම සැකකාරිය කලක් බැකෝ සමන් නමැත්තාගෙන් වෙන්ව සිට පසුව ඔහු සමග ජීවත් ව තිබෙන බවත් ඔහුගේ ඉල්ලීම මත විදේශගත වී තිබෙන බවත් ඇය පැවසුවා.
ඇයට අවුරුදු වයස තුනක දරුවකු සිටින අතර ඇය මෙම අපරාධ කිසිවකට සම්බන්ධ බවට සාක්ෂි අනාවරණය වී නොමැති බවයි නීතිඥවරිය කියා සිටියේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකාරිය ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
එදින මෙම සැකකාරිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කළ විමර්ශන වලට අදාළ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
මෙහිදී අධිකරණය කළ විමසීමකදී සැකකාරිය සඳහන් කළේ තම දරුවා රැක බලා ගැනීම සඳහා සිය දෙමව්පියන්ට භාර දෙන බවයි
ඉදිරියේදී අවශ්‍යතාවයක් මතු වුවහොත් දරුවා සැකකාරිය භාරයට ගැනීමට හැකියාව තිබෙන බවත් ඒ සඳහා විධිමත් ලෙස ඉල්ලීමක් සිදුකළ හැකි බවත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.