ඇල්ලේදී අනතුරට ලක්වූ බස් රථය ගැන තවත් දෙයක් හෙළි වෙයි

පසුගියදා ඇල්ල ප්‍රදේශයේදී 15 දෙනෙකුට මරු කැඳවමින් තවත් විශාල පිරිසකට බරපතල ලෙස තුවාල සිදු වූ බස් රථයේ වටිනාකමට වඩා බස් රථයේ මෝස්තර සඳහා අයිතිකරු විසින් මුදල් වැය කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් අද (12) දින පැවසුවා.

බස් රථ අනතුරේ විමර්ෂණ කටයුතු සදහා තමන්ද සහභාගි වූ බවත්, එහිදි බස් රථයේ අයිතිකරු සමඟ සාකච්ඡා කිරිමේදි බස් රථය ලක්ෂ 55කට මිලදී ගෙන බස් රථයේ මෝස්තර සදහා රුපියල් ලක්ෂ 70ක පමණ මුදලක් වැය කළ බවත්, විනෝද චාරික සඳහා යන පිරිස්වලින් මෝස්තර බස් රථවලට විශාල ඉල්ලුමක් පවතින නිසා තමන් එවැනි විශාල මුදලක් වැය කර බස් රථය විනෝද චාරිකා සදහා මෝස්තර යොදා බස් රථය අලංකාර කල බවද අයිතිකරු විසින් පැවසූ බවයි ජාලිය බණ්ඩාර මහතා කියා සිටයේ.

බස් රථයේ මෝස්තර සදහා විශාල මුදලක් වැය කර තිබුණද බස් රථයේ නිසි ලෙස නඩත්තු නොකර තිබූ බවට පරික්ෂණවලදී අනාවරණය වූ බවත්, බස් රථයේ තිරිංග පද්ධතියේ පසුපස හබ් කොටසේ කාලයක් තිස්සේ ග්‍රීස් කාන්දුවක් තිබි ඇති බවට පරික්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

අධික බෑවුම් සහිත මාර්ගවල තිරිංග පද්ධතිය එක දිගට ක්‍රියාත්මක කරමින් වාහන ධාවනය කිරිමේදී වාහනවල රෝදවල ඩ්‍රම් කොටස රත් වීම නිසා තිරිංග පද්ධතිය අක්‍රීය වන බවද ජාලිය බණ්ඩාර මහතා පැවසීය.

සංචාරයක් සදහා යෑමට ප්‍රථම තමන් තෝරා ගන්නා වාහනය ආරක්ෂාව පිළිබදව විශේෂ අවධානය යොමු කර එම වාහනය නිසි ලෙස නඩත්තු කර තිබේද සහ එම වාහනයේ රියදුරාගේ පලපුරුද්ද පිළිබදව විශේෂ අවධානය යොමු කරන ලෙසයි එම මහතා ජනතාගෙන් ඉල්ලා සිටියේ.