ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප

අල්ලස් කොමිසම මගින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන  රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා

ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

 සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව සැකකරු රුපියල් 50000/- ක මුදල්ස ඇප  සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළා. 

සැකකරු රිමාන්ඩ් භාරයෙන් පසු කාලසීමාව, ඔහුගේ රෝගී තත්ත්වයන් සහ විමර්ශන අවසන් අවධියේ පසුවීම යන කරුණු සැලකිල්ලට ගෙන මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත්කරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් 8850000/- ක් වන්දි ලබා ගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින්  පොදු දේපළ  පනත යටතේ වරදක් සිදු කළේ යැයි සැකපිට මෙම අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.