ඉන්දියාව සහ පකිස්ථානය අතර අඛණ්ඩ සංවාදයට ශ්‍රී ලංකාවේ උපරිම සහයෝගය ලබාදෙන බව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා පවසන්නේ, ඉන්දියාවේ සහ පකිස්ථානයේ සමීපතම අසල්වැසියෙකු සහ මිතුරෙකු ලෙස දෙරට අතර සටන් විරාම එකඟතාව සාදරයෙන් පිළිගන්නා බවයි.
ජනාධිපතිවරයා කියා සිටින්නේ, ඉන්දියාව සහ පකිස්ථානය සටන් විරාමයකට පැමිණීමට ගනු ලැබූ තීන්දුව දෙපාර්ශ්වයේ අහිංසක ජීවිත ගලවා ගැනීම සඳහා ඇති තීරණාත්මක එකඟතාවක් පමණක් නොව තිරසාර සාමය සහ කලාපීය ස්ථාවරත්වය අත්කරගැනීමේ පළමු සහ ප්රමුඛ පියවරක් බවයි.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටින්නේ, අතිමහත් ව්‍යසනයක් ඇතිවීමට පෙර දෙරටේ නායකයින් අර්බුදය විසඳාගැනීමට වෙඩි උණ්ඩ වෙනුවට වචන යොදා ගැනීමට තීරණය කිරීම ඔවුන්ගේ ප්‍රඥාව සහ රාජතාන්ත්‍රික කුසලතාවය මනාව පිළිබිඹු කරන බවයි.
කලාපීය සාමය අත්කරගැනීම සඳහා අවශ්‍ය ඕනෑම දායකත්වයක් ලබාදීමට සූදානම් බව ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
