ගැරඬිඇල්ල බස් අනතුර ගැන සොයන්න විශේෂ පොලිස් කමිටුවක්

කොත්මලේ පොලිස් වසමේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් අනතුරට පත්වීමෙන් මේ වන විට පුද්ගලයින් විසි දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මෙම බස් රථ අනතුරට හේතු පාදක වූ කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වැඩබලන පොලිස්පතිතුමාගේ නියමයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සිව්දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත්කර ඇත.

මෙම කමිටුව මගින් අනතුරට හේතු වූ කරුණු සම්බන්ධයෙන් මූලික පැතිකඩයන් කිහිපයක් ආවරණය වන පරිදි විමර්ශන සිදු කිරීමට නියමිත අතර ඉදිරියේදී මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙසද වැඩබලන පොලිසිපතිතුමා විසින් දන්වා ඇත.