ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය, අද ආරම්භ වනවා.
පළමු තරගය රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, එය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට.
අද තරගය පැවැත්වෙන රාවල් පිණිඩි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවත් පකිස්තානයත් අතර එක්දින ක්‍රිකට් තරගයක් පැවැත්වෙන්නේ, වසර 30කට පසුවයි.
අවසන් වරට 1995 වසරේදී දෙරට අතර එක්දින තරගයක් පැවැත්වුණා. මේ අතර, ශ්‍රී ලංකාව එම ක්‍රීඩාංගණයේදී තරග තුනක් ක්‍රීඩා කර, තරග 2 ක් ජයග්‍රහණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවත් පකිස්තානයත් අතර මෙතෙක් පවත්වා ඇති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග සංඛ්‍යාව 157 ක්.
ඉන් තරග 93 ක් පකිස්තානයත් තරග 59 ක් ශ්‍රී ලංකාවත් ජය ගත්තා. තරග 4 ක් තීරණයකින් තොරව අවසන් වූ අතර, එක් තරගයක් ලකුණු සමවීමෙන් අවසන්ව තිබෙනවා.
ශ්‍රී ලංකාව අවසන් වරට පකිස්තානයට එරෙහිව එක්දින ජාත්‍යන්තර තරගාවලියක් ජය ගෙන ඇත්තේ, 2014 වසරේදී.
අද තරගයට සූදානම්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී අවසන් පුහුණු සැසියට සහභාගී වුණා.
තරගාවලියේ ජයග්රාහකයින්ට පිරිනැමෙන කුසලානය එළිදැක්වුණේ, දෙරටේ කණ්ඩායම්වල නායකයින්ගේ සහභාගීත්වයෙන්.
