හරක් කටාගේ නඩුවක් කල් යයි

මුල්ලේරියාව ප්‍රදේශයේ නිවසක් බිඳ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක හෙවත් හරක් කටාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ජූලි මස 15 දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබුවා.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා අද දින නිවාඩු ලබා සිටීම හේතුවෙන් නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කනිෂ්ට නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව නඩුවේ වැඩිදුර විභාගයේ ජුලි මස 15 වනදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියම කළා.

නඩුවේ සාක්ෂිකාරියක වන ඉන්ද්‍රානි ඩයස් නමැත්තිය අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය පෙනී සිටි අතර ඇයට මීළඟ දින අධිකරණය පෙනී සිටින ලෙස විනිසුරුවරයා අවවාද කළා.

දැඩි ආරක්ෂක විධිවිධාන මැද විත්තිකාර හරක් කටා අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ත්‍රස්ත මර්ධන කාර්යාංශ නිලධාරීන් ඔහු මාධ්‍ය වලට නිරාවරණය නොවන පරිදි ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කිරීමටද කටයුතු කළා.