1.00න් පසු ප්‍රදේශ රැසකට වැසි

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට බලපෑම් කරන බැවින් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකිය.

සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.