පාස්කු ප්‍රහාර සිද්ධියේදී වන්දි ගෙවා ඇති ආකාරය පිළිබඳ අධිකරණයට දැනුම්දීමක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12කට අදාළව දුන් තීන්දු වලට අනුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු වග උත්තරකරුවන්ගෙන් අය කරගත් රුපියල් මිලියන 310 කට අධික වන්දි මුදලින් මේවන විට වින්දිතයින් 661 දෙනෙකුට වන්දි ගෙවා අවසන් කර ඇතැයි නීතිපතිවරයා ඊයේ (21) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

එම වන්දි ගෙවා තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ කැඳවූ අවස්ථාවේදී හානි පූරණ කාර්යාලය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය මෙම දැනුම්දීම සිදු කළා.

ඒ අනුව වග උත්තරකරුවන්ගෙන් අය කරගෙන තිබෙන සමස්ත වන්දි මුදල්වලින් සියයට 99.78 ක් වින්දිතයින්ට ගෙවා තිබෙන බවත් ඇය සඳහන් කළා.

මෙම පෙත්සම් අග විනිසුරු මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා සහ ඒ.එච්. එම්. ඩී. නවාස් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය විසින් මෙම වන්දි ගෙවීම්වලට අදාල වාර්තාව ද අධිකරණයට ඉදිරිපත් කළා.

මෙහිදී කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥයා සංජීව ජයවර්ධන යන මහත්වරු අධිකරණයට දන්වා සිටියේ මෙම වන්දි ගෙවීම් සිදුකර තිබෙන ආකාරය පිළිබඳව තමන් සෑහීමකට පත්වන බවයි.

මෙම වන්දි ගෙවීම සිදුවන ආකාරය නිරීක්ෂණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අනර්ඝ කාර්යභාරයක් ඉෂ්ට කළ බවත් ඒ සම්බන්ධයෙන් තමන් ස්තූතිවන්ත වන බවත් එම ජනාධිපති නීතිඥවරු සඳහන් කළා.

මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම සම්බන්ධයෙන් එම ජනාධිපති නීතිඥවරු විසින් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරියටද සිය ස්තූතිය පළ කර සිටියා.

ඒ අනුව මෙම පෙත්සම් විභාගය අවසන් කළ හැකි බවත් එම ජනාධිපති නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව මෙම පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.