IPL අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම්

ඉන්දීය ප්‍රිමියර්ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීමට ගුජරාට් ටයිටන්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර්, පංජාබ් කින්ග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් සමත්වුණා.

මුම්බායි ඉන්දියන්ස් ඊයේ පැවති තරගයෙන් ජය වාර්තා කළේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජය කරමින්. තරගය පැවැත්වුනේ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවි ලකුණු 180 ක් රැස් කළා.

සූර්ය කුමාර් යාදෙව් පන්දු 43 කදි නොදැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 73 ක්. ඊට හතරේ පහර 7 ක් සහ හයේ පහර 4 ක් ඇතුළත්.

තිලක් වර්මා ලකුණු 27 යි.පන්දු යැවීමේදි මුකේෂ් කුමාර් කඩුලු 2 ක් දවාගත්තා.

දුෂ්මන්ත චමීර එක් කඩුල්ලයි. පිළිතුරු ලෙස දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු දෙකකදි සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකිවු‍ණේ ලකුණු 121 ක් පමණයි.

වැඩිම ලකුණු ලාභියා වු සමීර් රිස්වි ලකුණු 39 යි.

පන්දු යැවිමේදි මිචෙල් සැන්ට්නර් සහ ජස්ප්‍රිට් බුම්රා කඩුලු 3 බැගින් දවාගත්තා.

තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජය ගත්තේ ලකුණු 59 කින්.