ප්‍රදේශ කිහිපයකට අදත් සවස් කාලයේ වැසි

හම්බන්තොට දිස්ත්‍රික්කයේත්, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් අද (28) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. පැ.කි.මි. 40ක පමණක තරමක තද සුළං මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටී.