සහකාර පොලිස් අධිකාරි ධුර උසස් කිරීම්වලට එරෙහිව ගොනුකළ පෙත්සම් ඉවතට

2020 වසරේ කැඳවනු ලැබූ අයදුම් පත්‍රවලට අනුව සහකාර පොලිස් අධිකාරී ධූර සදහා සිදු කෙරුණු උසස් වීම් අභියෝගයට ලක් කරමින් එම උසස්වීම් නොලද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 145 දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් දීර්ඝ විභාගයකින් අනතුරුව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

2020 වසරේ ජනවාරි මස 31 වනදා සහකාර පොලිස් අධිකාරි ධූර උසස් කිරීම් සඳහා පොලිස්පතිවරයා විසින් නිකුත් කළ නිවේදනයකට අනුව අයදුම් පත්‍ර කැඳවීම සිදු කෙරුණි.

පසුව රාජ්‍ය සේවා කොමිසම විසින් ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ පවත්වා අදාළ උසස්වීම් පිරිනැමූ බවත් සියලු සුදුසුකම් සපුරා තිබියදීත් තමන්ට එම උසස් වීම් නොලැබුණු බවත් පෙත්සංකරුවෝ චෝදනා කරති.

පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටි අපේක්ෂකයින් ලබාගත් ලකුණු වැරදි බවට රාජ්‍ය සේවා කොමිසම විසින් පිළිගෙන පසුව යළි ලකුණු වෙනස් කිරීම් සිදුකළ බවයි.

මේ ආකාරයෙන් ලබාදුන් ලකුණු පසුව වෙනස් කිරීමට රාජ්‍ය සේවා කොමිසමට බලයක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ තුළින් තමන්ට දැඩි අගතියක් සිදුවූ බවත් කියා සිටිති.

ඊට අමතරව පෙත්සම්කරුවන් තමන්ට සිදුවූ අසාධාරණ ක්‍රියා කිහිපයක් ද සිය පෙත්සම් වලින් විස්තර කර තිබේ.

ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටි අපේක්ෂකයින් ලබාගත් ලකුණු සටහන් කැඳවා කරුණු සොයා බැලීමක් ද සිදු කරන ලදී.

ඉන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ අගවිනිසුරුවරයා මෙම සම්මුඛ පරීක්‍ෂණයේදී අපේක්ෂකයින් ලබාගත් ලකුණු රාජ්‍ය සේවා කොමිසම විසින් වෙනස් කිරීමට භාජනය කළ බවට පෙත්සංකරුවන් ප්‍රකාශ කරන අතර එසේ කිරීමට හේතු වූ කරුණු රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරයා විසින් අධිකරණය හමුවේ පැහැදිලි කර තිබේ.

එම පැහැදිලි කිරීම සම්බන්ධයෙන් අධිකරණය සෑහීමකට පත්වන බවත් එම ක්‍රියාවලිය නීත්‍යානුකූල බව අධිකරණය පිළිගන්නා බවත් අගවිනිසුරුවරයා සිය තීන්දුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව පෙත්සම්කරුවන් ඉදිරිපත් කරන තර්ක වල කිසිදු නීතිමය වටිනාකමක් නොමැති බවත් ඔවුන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට අධිකරණය හමුවේ කරුණු තහවුරු කිරීමට අසමත් වී ඇති බවත් තීන්දුවේ සඳහන් වේ.

ඒ අනුව පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහන ප්‍රදානය කිරීමට

සාධාරණ හේතු නොමැති හෙයින් අදාළ පෙත්සම් ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.