බොලිවියාවේ ලා පාස් (La Paz) අගනුවර ආසන්නයේදී එරට මහ බැංකුවට අයත් අලුතින් මුද්‍රණය කරන ලද මුදල් නෝට්ටු තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ හමුදා ගුවන් යානයක් මහා මාර්ගයක් මතට කඩා වැටීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බොලිවියානු ගුවන් හමුදාවට අයත් හර්කියුලිස් (Hercules) වර්ගයේ මෙම භාණ්ඩ ප්‍රවාහන යානය, එල් ඇල්ටෝ (El Alto) ගුවන්තොටුපළෙන් ගුවන් ගත වූ මොහොතේම අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් පථයෙන් ඉවතට පැන අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
පසුව එය අසල පිහිටි කාර්යබහුල මහා මාර්ගයකට කඩා වැදී ඇති අතර, එහිදී මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහන 15කට අධික සංඛ්‍යාවක ගැටී ඇත.
අනතුරත් සමඟ යානයේ තිබූ අලුත්ම මුදල් නෝට්ටු විශාල ප්‍රමාණයක් මහා මාර්ගය පුරා විසිරී ගොස් ඇති අතර, එම ස්ථානයට රැස් වූ ප්‍රදේශවාසීන් මුදල් අහුලා ගැනීමට උත්සාහ කිරීම නිසා දැඩි නොසන්සුන්කාරී තත්වයක් හටගෙන තිබෙනවා.
කැරලි මර්දන පොලිසිය යොදවා ජල ප්‍රහාර එල්ල කරමින් පිරිස විසුරුවා හැරීමට බලධාරීන්ට සිදු වූ බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.
මෙම අනතුරින් පුද්ගලයන් 30 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, මියගිය පිරිස අතර යානයේ සිටි පිරිස මෙන්ම මාර්ගයේ ගමන් කළ සිවිල් වැසියන් ද සිටින බවයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ.
අනතුර හේතුවෙන් එල් ඇල්ටෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සියලු මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමටද එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
