ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සියයට 10කට වැඩි අගයකින් පහළ වැටී තිබෙනවා.

ඒ, ගැටුම් නිරාකරණය සඳහා ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා ආරම්භ වී ඇති බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමගයි.

ඉරානය පවසන්නේ, එවැනි කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බවයි.

මේ අතර, ලෙබනනයේ ලිටානි ගඟ දක්වා සිය දේශ සීමා පුළුල් කරන බවට ඊශ්‍රායලය පවසනවා.

ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර දින පහකට අත්හිටුවීමට තමන් නියෝග කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.

අමෙරිකාව සහ ඉරානය අතර ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවන් පවතින බවත්, දෙපාර්ශවයම විසඳුමකට එළඹීමට කැමැත්තෙන් පසුවන බවත් ඔහු පවසනවා.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 සීමාව දක්වා පහළ බැස ඇති අතර අමෙරිකානු කොටස් වෙළඳපොළේද සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙනවා.

ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය වෙළඳපොළ හැසිරවීම සඳහා සිදුකළ අසත්‍ය ප්‍රකාශයක් බවට ඉරාන විදේශ අමාත්‍යංශය චෝදනා කරනවා.

අමෙරිකාව සමඟ කිසිදු සෘජු හෝ වක්‍ර සාකච්ඡාවක් මෙතෙක් පවත්වා නොමැති බවත් හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පාලනය තවදුරටත් ඉරානය සතු බවත් එරට කථානායකවරයා පවසනවා.

මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරන්නේ ඕනෑම සටන් විරාමයකදී සිය රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ වන විටත් ලෙබනනයේ ලිටානි ගඟ හරහා ඉදිකර තිබූ ප්‍රධාන පාලම් හතෙන් හයක්ම ඊශ්‍රායල ප්‍රහාර හමුවේ විනාශ වී තිබෙනවා.

ලෙබනන වැසියන් ලක්ෂ 12 පමණ පිරිසක් අවතැන්ව ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ.

මීට අමතරව ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාර කිහිපයක් ජෙරුසලම සහ උතුරු ඊශ්‍රායලයේ ජනාවාස වෙත පතිත වී ඇති බවට ද වාර්තා වනවා.

කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඕනෑම පියවරක් ගැනීමට සූදානම් බව ඉරාන සන්නද්ධ හමුදා ප්‍රකාශ කර ඇති පසුබිමක, බහරේනය සහ කුවේටය වැනි රටවල ද ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක කර තිබෙනවා.