හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා සඳහා ගාස්තු අය කිරීමට අදාළ නව නීති සම්පාදනය කිරීමට ඉරානය සූදානම් වනවා.
අල් ජසීරා පුවත් සේවය මෙම තොරතුරු වාර්තා කර ඇත්තේ ඉරාන පාර්ලිමේන්තුවේ සිවිල් කටයුතු පිළිබඳ කමිටුවේ සභාපතිවරයා උපුටා දක්වමින්.
මෙම වැදගත් ජල මාර්ගය හරහා ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීමට බලධාරීන්ට අවසර දෙන කෙටුම්පතක් සම්මත කර ගැනීමට ඉරාන පාර්ලිමේන්තුව අපේක්ෂා කරන බව එම වාර්තාවල සඳහන්.
අදාළ යෝජනාව සකස් කර ඇති අතර පාර්ලිමේන්තු නීති කණ්ඩායම එය ඉක්මනින් අවසන් කරනු ලබන බවයි ඉරාන බලධාරීන් පවසන්නේ.හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම ගාස්තු අය කළ යුතු බව ඉරාන නිලධාරීන් පෙන්වා දෙනවා.
ලොව වෙනත් ප්‍රවාහන කොරිඩෝ හරහා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී බදු ගෙවන ආකාරයටම හෝමුස් සමුද්‍ර සන්ධිය ද කොරිඩෝවක් ලෙස සලකා කටයුතු කිරීම සාධාරණ බවයි ඔවුන් කියා සිටින්නේ.
තම රට මෙම කලාපයේ ආරක්ෂාව තහවුරු කරන බැවින් නෞකා සහ තෙල් ටැංකිවලින් ඊට ගාස්තු ගෙවීම ස්වභාවික තත්ත්වයක් බව ද පෙන්වා දී තිබෙනවා.
ආර්ථික විශේෂඥයින් පවසන පරිදි මෙම තීරණය අන්තර්ජාතික වෙළඳ සහ නාවික කටයුතු කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරනු ඇති.
