බොරතෙල් මිල යළිත් ඉහළට

මැද පෙරදිග යුද්ධය සමනය කරගැනීම සඳහා පවතින රාජ්‍ය තාන්ත්‍රික බලාපොරොත්තු ගිලිහී යාමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් පවතිනවා.

යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡා පවතින බවට අමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ඉරානය ප්‍රතික්ෂේප කිරීම මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුවයි.

ගෝලීය බොරතෙල් මිල දර්ශකයේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සියයට දෙකකින් පමණ ඉහළ ගොස් ඇති අතර බැරලයක් ඩොලර් 104 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව කරුණු 15කින් යුත් සැලසුමක් ඉදිරිපත් කර ඇති බවට පළවූ වාර්තා හේතුවෙන් ඊයේ තෙල් මිල යම් ප්‍රමාණයක පහත වැටීමක් පෙන්නුම් කළා.

එහෙත් ඒ පිළිබදව ඉරානයේ දැඩි ස්ථාවරය හමුවේ එම තත්ත්වය යළි වෙනස් වී ඇති බවයි වාර්තා වන්නේ.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නෞකා ගමනාගමනය ඇණහිටීමෙන් තෙල් මිල සියයට 40කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ආසියානු කොටස් වෙළඳපොළද අද සැලකිය යුතු පසුබෑමකට ලක්ව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.