බේකරි හිමිකරුවන් වෙළෙඳ අමාත්‍යංශයට

මැදපෙරදිග කලාපීය යුද ගැටුම් හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වය මෙරට බේකරි නිෂ්පාදකයින් සහ එම කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බේකරි නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තකරුවන් අද (26) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය වෙත කැඳවා තිබෙනවා.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් කේ.ඒ විමලේන්තිරරාජා මහතා, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා ඇතුළු පිරිසක් එක් විය.

පසුගිය සතියේ සිදු කරන ලද ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කටයුතු කළ අතර එම මිල ඉහළ දැමීමට බලපෑ කරුණු සම්බන්ධයෙන් ඔවුන් සමඟ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගැනුණි.

බේකරි ආහාර නිෂ්පාදනය සඳහා උඳුන් භාවිතයේදී ඩීසල් යොදා ගන්නා අතර ඒ හේතුවෙන් ඉන්ධන මිල වැඩිවීම තම නිෂ්පාදන පිරිවැයට සෘජු බලපෑම් එල්ල කර ඇති බව ඔවුන් මෙහිදී පෙන්වා දුනි.

බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වන තිරිඟු පිටි මිල එළඹෙන අලුත් අවුරුද්ද අවසන් වන තෙක් වැඩි නොකරන බවට තිරිඟු පිටි සමාගම් පසුගිය සතියේ තමන් හමුවූ අවස්ථාවේ පොරොන්දු ලබා දුන් බව සිහිපත් කළ වෙළෙඳ අමාත්‍යවරයා අලුත් අවුරුදු සමයෙන් පසුව තිරිඟු පිටි මිල යම් ආකාරයකින් ඉහළ දැමුවහොත් බේකරි නිෂ්පාදනවල මිල යළි වැඩිකරන්නේදැයි එහිදී ප්‍රශ්න කරන ලදී.

ඊට ප්‍රතිචාර දක්වමින් බේකරි හිමිකරුවන්ගේ සංගමය සඳහන් කළේ තිරිඟු පිටි මිල රුපියල් දහයකින් පමණ ඉහළ දැමුවහොත් බේකරි නිෂ්පාදනවල මිල වැඩි ⁣නොකරන බවයි.

ෆාම් ඔයිල් යොදා ගෙන නිෂ්පාදනය කරන මාගරින් සෞඛ්‍යයට හිතකර නොවන අතර තම නිෂ්පාදන තුළ බටර් භාවිතය දිරිමත් කිරීම සදහා දැනට පවතින බාධා ඉවත්කර දෙන ලෙස මෙහිදී බේකරි හිමිකරුවන් ඉල්ලීමක් කරන ලදී.

ඒ පිළිබඳ අවධානය යොමුකළ අමාත්‍යවරයා, ෆාම් ඔයිල් මිල හා බටර් මිල බේකරි නිෂ්පාදන වලට බලපෑමක් එල්ලකරන බැවින් බටර් සදහා පවතින ආනයනික බදු සංශෝධනය පිළිබඳ සලකා බැලීමට ඔවුන්ගේ ඉල්ලීම ලිඛිතව යොමුකරන ලෙස දැනුම් දුනි.