පකිස්ථාන ධජය යටතේ යාත්‍රා කරන නෞකා 20කට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉරානය අවසර දී තිබෙනවා.
නූතන ඉතිහාසයේ එරට මුහුණ දුන් දරුණුතම බලශක්ති අර්බුදය සමනය කරගැනීම සඳහා මෙය වැදගත් පියවරක් බවයි පකිස්ථාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් මහතා පවසන්නේ.
නව එකඟතාවට අනුව දිනකට නෞකා දෙක බැගින් මෙම කලාපය හරහා යාත්‍රා කිරීමට නියමිත බව විදේශ අමාත්‍යවරයා සිය නිල එක්ස් X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරනවා.
ඉරානය සහ පකිස්ථානය අතර ඇති වූ මෙම රාජ්‍ය තාන්ත්‍රික එකඟතාව හේතුවෙන් එරට ඉන්ධන සහ බලශක්ති සැපයුම වඩාත් විධිමත් වනු ඇතැයි අපේක්ෂිතයි.
කලාපීය ආරක්ෂාව සහ ආර්ථික සහයෝගීතාව වර්ධනය කරගැනීමට මෙම තීරණය ඉවහල් වනු ඇති බවයි පකිස්ථාන රජය පවසන්නේ.
ඉරානයේ මෙම තීරණය කලාපීය සාමය උදෙසා ගත් යහපත් පියවරක් මෙන්ම දැඩි අර්බුදකාරී තත්ත්වයක පවතින කලාපයේ ස්ථාවරත්වය ඇති කිරීමට හේතු වන්නක් බව පකිස්ථාන විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඇතුළු ඉහළ පෙළේ ඇමරිකානු සහ ඉරාන බලධාරීන් වෙත සෘජුවම සිය අදහස් යොමු කරමින් ඔහු පවසන්නේ, මෙම එකඟතාව හුදු නාවික ගිවිසුමකට එහා ගිය පුළුල් රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් බවයි.
කලාපයේ යුදමය වාතාවරණය සමනය කිරීම සඳහා ඉස්ලාමාබාද් පාලනය දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ද විදේශ අමාත්‍යවරයා මෙය හඳුන්වා තිබෙනවා.
