ඉරානයේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානය වන කාර්ග් දූපතේ පාලනය අත්පත් කර ගැනීම සඳහා අමෙරිකානු හමුදා යෙදවීමේ සූදානමක් පවතින බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි පළකර තිබෙනවා.
ඉරානයේ සමස්ත තෙල් අපනයනයෙන් සියයට 90ක්ම සිදුකෙරෙන මෙම මූලෝපායික වැදගත්කමකින් යුත් දූපත අත්පත් කර ගැනීම හරහා ඉරානයට දැඩි ආර්ථික බලපෑමක් එල්ල කිරීම අමෙරිකාවේ අරමුණ වී තිබෙනවා.
මේ වන විටත් අමෙරිකානු මැරීන් භටයන් 5,000 ක් සහ පැරෂුට් භටයන් 2,000 ක් පමණ කලාපය වෙත පිටත් කර හැර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, අමෙරිකාවේ මෙම ආක්රමණික සූදානමට එරෙහිව ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර සිටිනවා.
ඕනෑම විදේශීය ආක්රමණික බලකායකට එරෙහිව සිය හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කරන බවත්, කාර්ග් දූපතේ ආරක්ෂාව සඳහා මිසයිල පද්ධති ඇතුළු නවීන අවි ආයුධ සන්නද්ධ කර ඇති බවත් ඔහු පවසනවා.
සාම සාකච්ඡා සඳහා යෝජනා කරන අතරතුර මෙලෙස හමුදා බලය යෙදවීමට උත්සාහ කිරීම අමෙරිකාවේ දෙබිඩි පිළිවෙතක් බවට ද ඉරානය චෝදනා කරනවා.
