තීරණාත්මක සාකච්ඡා අද

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර තීරණාත්මක සටන් විරාම සාකච්ඡා පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරදී ආරම්භ වීමට සියලු කටයුතු මේ වන විට සූදානම්ව පවතිනවා.

පසුගිය පෙබරවාරි මස ආරම්භ වූ දෙරට අතර යුධමය වාතාවරණය සමනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් මේ සඳහා සහභාගී වීමට නියමිතව තිබෙනවා.

ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් සහ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ඇතුළු පිරිස දැනටමත් පකිස්ථානයට පැමිණ සිටින අතර ඔවුන් අවධාරණය කරන්නේ තමන් සාකච්ඡා සඳහා සුභවාදීව එළඹෙන නමුත් අමෙරිකාව කෙරෙහි පූර්ණ විශ්වාසයක් තැබිය නොහැකි බවයි.

අමෙරිකානු උප ජනාධිපතිවරයා පවසන්නේ ඉරානය අවංකව සාකච්ඡා කරන්නේ නම් ඔවුන් දෙසට සුහදත්වයේ හස්තය දිගු කිරීමට සූදානම් බවයි.

මෙම සාකච්ඡාවලදී ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් කෙරෙහි අමෙරිකාවේ අවධානය යොමුව පවතිනවා.

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පාලනය කිරීම සහ දැනට වසා දමා ඇති හෝර්මුස් සමුද්‍ර සන්ධිය ජාත්‍යන්තර නෞකා ගමනාගමනය සඳහා යළි විවෘත කිරීම ඒ අතර ප්‍රධාන වන බව වාර්තා වෙනවා.

දැනට පවතින තාවකාලික සටන් විරාමය අප්‍රේල් 21 වනදායින් අවසන් වීමට නියමිත අතර එය දීර්ඝ කිරීම පිළිබඳව මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු කෙරෙනවා.